දස හැවිරිදි දැරිය දූෂණය: 'බිළිඳියගේ පියා මාමා නොවේ'

ඡායාරූප මූලාශ්‍රය, iStock
දස හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනා ලබා සිටින දැරියගේ මාමා ගෙන් ලබාගත් ඩීඑන්ඒ (DNA) සාම්පල සහ දැරිය බිහි කළ බිළිඳියගේ ඩීඑන්ඒ සාම්පල එකිනෙකට නොගැලපීම හේතුවෙන් ඒ සම්බන්ධ පරීක්ෂණය යළි ආරම්භ කළ බව ඉන්දීය පොලිසිය පවසයි.
ඇයගේ දරු ගැබ ගබ්සා කිරීමට අවසර දීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව, දූෂණයට ලක් වූ දැරිය පසුගිය මාසයේ බිළිඳියක ප්‍රසූත කළාය.
තමන් ගැබ් ගෙන සිටි බව ඒ වනතුරුම ඇය නොදැන සිටියාය. උදරයේ ගලක් සිරවීම හේතුවෙන් උදරය මහත් වී ඇති බව දෙමාපියන් ඇයට පවසා තිබුණි.
ගතවගිය මාස හත ඇතුළත සිය මාමා තමන් කිහිප වතාවක්ම දූෂණය කළ බව දැරිය පවසයි.
සැකකරු තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප නොකළ බව දැරියගේ පියා මීට ඉහතදී බීබීසී යට පැවසීය. මේ අතර පොලිසිය පවසන්නේ සැකකරු තමන්ට එරෙහි චෝදනා පිළිගත් බවය.
'කටඋත්තරයක් නෑ'
දැරියගේ සාක්ෂිය මත පදනම්ව අත්අඩංගුවට ගන්නා ලද මාමාට එරෙහිව මේ වනවිට ළමුන්ට එරෙහි අපරාධ විභාග කෙරෙන විශේෂ අධිකරණයක නඩු පවරනු ලැබ තිබෙන නමුත් තමන්ට එරෙහි චෝදනා පිළිබඳව සැකකරු මෙතෙක් කිසිදු කට උත්තරයක් ලබා දී නැත.
මේ වනවිට ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටී.
- දූෂණය කෙරුණු 13 හැවිරිදි දැරියක් සහ ගබ්සාව පිළිබඳ විවාදය
- දූෂණය කෙරුණු දස හැවිරිදි දැරියක් ගබ්සාවට අවසර ඉල්ලයි
- 'හොඳම තෑග්ග සමාව දීම' - ලිංගික ශ්‍රමිකයන්ගේ දියණියෝ
- වයස 10යි, දරු ගැබට සති 32යි: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
- දූෂණය කෙරුණු දස හැවිරිදි දැරියට දරුවෙක්
- ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක වේදනාව
- 'අවුරුදු දෙකහමාරක දැරියක දූෂණය කරලා'
බිළිඳියගේ ඩීඑන්ඒ සාම්පල සහ සැකකරුගේ ඩීඑන්ඒ නොසැසඳීම හේතුවෙන් තවත් පුද්ගලයන් එම දැරිය දූෂණය කළේ දැයි සැක පහළ වී තිබෙන බව දිල්ලි අගනුවර සිටින බීබීසී වාර්තාකාරිය ගීතා පාන්ඩේ පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
"කිසිම කෙනෙක් මේ වන තුරු වෙනත් හැකියාවක් ගැන කල්පනා කළේ නැහැ," පරීක්ෂණයට සම්බන්ධ නිලධාරියෙක් බීබීසී යට පැවසීය.
"අධිකරණයට ලබා දුන් සාක්ෂියෙදි වගේම, ඇයගේ මුල්ම කට උත්තරයේදීත් දැරිය පැහැදිලිවම මාමා නම් කරලා, සිදුවීම ගැන විස්තර කරලා තියෙනව."
දැරිය දූෂණය කිරීම පිළිබඳව වෙනත් කිසිවෙකු සැක නොකරන බව දැරියගේ මව ද විමර්ශකයන්ට පවසා ඇතැයි සැලකෙන බැවින් පරීක්ෂණය සම්පූර්ණයෙන්ම අමුතුම දෙසකට හැරී ඇති බව ද නිලධාරියා සඳහන් කළේය.
හටගෙන තිබෙන අවිනිශ්චිත තත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් සහ මානසික උපදේශකයන් පසුගිය අඟහරුවාදා යළිත් වරක් දැරියගේ නිවසට ගොස් දැරිය මුණ ගැසී තිබේ.
මේ අතර ඩීඑන්ඒ පරීක්ෂණයේ දී කිසියම් වරදක් වූයේ දැයි විමසා බැලීම පිණිස යළිත් වරක් ඩීඑන්ඒ පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසී පන්ජාබි භාෂා සේවයට පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දියාවේ ළමා අපයෝජන:
- සෑම විනාඩි 155කට වරක් වයස අවුරුදු 16ට අඩු දැරියක දූෂණය වන අතර සෑම පැය තුනකට වරක් වයස අවුරුදු දහයකට අඩු දැරියක දූෂණයට ලක්වෙයි.
- 2015 වසර ඇතුළත ළමුන් 10,000කට අධික පිරිසක් දූෂණයට ලක්වී තිබේ.
- ඉන්දියාවේ කාන්තාවන් මිලියන 240ක් විවාහ වී ඇත්තේ වයස අවුරුදු 18 පිරීමට පෙර ය.
- ඉන්දීය රජය මගින් සිදු කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇත්තේ ඊට සහභාගී වූ ළමුන්ගෙන් 53.22%ක් කිසියම් හෝ අපයෝජනයකට ලක්වී ඇති බවය.
- මෙම ළමුන්ගෙන් 50%ක් පමණ අපයෝජනයට බඳුන් වී ඇත්තේ පවුලේ විශ්වාසවන්තයන් අතින් හෝ එම දරුවන් රැකබලාගත් අය අතිනි.











