ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආයුධ රැගෙන පළාගිය ප්‍රහාරකයන් සොයා මෙහෙයුම්
හමුදා කඳවුරකට පහර දී ආයුධ රැගෙන පලාගිය දස දෙනෙකු සොයා මෙහෙයුම් දියත් කර ඇති බව වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ පවසයි.
වෙනිසුවෙලාවේ වයඹදිග වැලන්සියා නගරයේ පිහිටි මෙම හමුදා කඳවුරට පහර දීම සඳහා විසි දෙනෙකු පැමිණ ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඔහු තවදුරටත් කියා සිටියේ ප්‍රහාරකයන්ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති අතර එක් අයෙකු තුවාල ලබා ඇති බවය. තවත් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු පැවසීය.
තමන් "මිනීමරු දුෂ්ට පාලනයට" එරෙහිව නැගී සිටි බව පවසන, හමුදා නිල ඇඳුමින් සැරසුණු පිරිසක් පෙනී සිටින වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලයක පළවී තිබුණි.
කෙසේ නමුත් රටේ සන්සුන් වාතාවරණයක් පවතී.
ඊයේ (අගෝස්තු 06) පෙරවරුවේ සිදු වූ මෙම ප්‍රහාරය මැඩපැවැත්වීමට "වහා ක්‍රියාත්මක වූ" යුද හමුදාවට ජනාධිපතිවරයාගේ ප්‍රශංසාව හිමි විය.
මෙය "කුළී හේවායන් විසින් සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරයක්" ලෙස ජනාධිපති නිකොලාස් මදුරෝ හැඳින්වීය.
පළාගොස් සිටින ප්‍රහාරකයන් අල්ලා ගැනීමේ මෙහෙයුම සඳහා සන්නද්ධ හමුදා රථ සහ හෙලිකොප්ටර් යානා යොදවා තිබේ.
අත්අඩංගුවේ පසුවන පිරිස අතර හමුදාවෙන් පළාගොස් සිටි ලුතිනන්වරයෙක් සිටින බවත් අනෙක් පිරිස නිල ඇඳුම් හැඳගත් සාමාන්‍ය වැසියන් බවත් බලධාරීහු නිවේදනය කළහ.
පසුගිය ඉරිදා පැවැත්වුන මැතිවරණයේ දී සිදු විනැයි පැවසෙන ප්‍රෝඩා පිළිබඳව විභාග කිරීමට වෙනිසුවෙලා නීතිපතිවරිය පියවර ගැනීමත් සමඟ එරට උද්ගතව පවතින දේශපාලන ව්‍යාකූලත්වය අලුත් අදියරකට පැමිණියේය.
ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵලයේ ඇතුළත් සංඛ්‍යා ලේඛන සාවද්‍ය ඒවා වන බව බ්‍රිතාන්‍ය තාක්ෂණික ආයතනයක් විසින් චෝදනා කරනු ලැබීමෙන් පසුව නීතිපතිවරිය එම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
නීතිපතිනි ඔර්ටේගා කලක් වෙනිසුවෙලා ආණ්ඩුවේ හිතවතියක් වූ නමුත් මේවනවිට ඇය ජනාධිපති නිකොලස් මධුරෝ ඇතුළු වෙනිසියුලානු පාලනය දැඩි වචන උපයෝගී කර ගනිමින් දෝෂ දර්ශනයට ලක් කරන ස්ථාවරයක සිටින්නීය.
ඉන් අනතුරුව වෙනිසුවෙලා ආරක්ෂක හමුදා, නීතිපති ලුවිසා ඔර්ටේගා ගේ කාර්යාලය අවට රඳවා ඇති බවට වාර්තා විය. නීතිපතිවරිය එම හමුදා ක්‍රියාමාර්ගය විස්තර කළේ "වට කිරීමක්" (siege) හැටියටය.
පසුගියදා පැවැත්වුන වෙනිසුවෙලා මැතිවරණයෙන් පත් වූ අභිනව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නීතිපතිවරිය පදවියෙන් නෙරපා හැරීමට තීන්දු කළ අතර එයින් මඳ වෙලාවකට පසුව යුද හමුදා වට කිරීම ආරම්භ විය.
නීතිපතිවරිය සතු වත්කම් අත්හිටවා ඇති අතර ඇය රටින් පිටව යාම තහනම් කරනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.