රෝග මඩින්න මිනිස් කළල සංස්කරණය කරයි

පරම්පරාගතව ඉදිරියට යා හැකි (ප්‍රවේණිගත) මාරාන්තික හෘද රෝගවලට තුඩු දෙන ඩීඑන්ඒ (DNA) මිනිස් කළලයකින් ඉවත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් මුල්වරට සමත්වී ඇත.

මේ පියවර සමග පරම්පරාගතව ඉදිරියට හැකි 10,000ක් පමණ වූ අබාධ සහිත තත්ත්ව වළකාලීමට මං විවර විය හැකි බවට විශ්වාස කෙරේ.

එහි කියලුනු ඇමෙරිකානු හා දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිස සිය පර්යේෂණය අවසන් කිරීමට පෙර, දින පහක කාලයක් අදාළ කළලයට වැඩීමට ඉඩ දුන්හ.

අනාගත වෛද්‍ය විද්‍යාව පිළිබඳ යම් ඉඟියක් මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කළද සදාචාරාත්මක නිවැරදි බව බව පිළිබඳ බරපතල ගැටලුවක් ඉන් මතු කර ඇති බවද කියැවේ.

2015 වසරේදී විප්ලවීය ලෙස එළිදුටු ක්‍රිස්ප්ර් (Crispr) නමින් හැඳින්වෙන නව තාක්ෂණයට ස්තුති වන්නට, ඩීඑන්ඒ සංස්කරණය කිරීමේ ස්වර්ණමය යුගයක් හරහා විද්‍යාව ගමන්කරමින් සිටී.

වෛද්‍ය විද්‍යාවට මෙයින් ලැබෙන පිටිවහල අතිමහත්වන අතර ඒ හේතුවෙන් මූලික වශයෙන් පෙනහළු මෙන්ම අක්මාව, අග්න්‍යාශය, වකුගඩු හා අන්තරයට ප්‍රවෙණිගතව බලපෑ හැකි රෝගී තත්ත්වයක (Cystic fibrosis) සිට පියයුරු පිළිකා දක්වා හේතුවිය හැකි ප්‍රවේණිගත වැරදීම් ඉවත් කිරීම පිළිබඳ සංකල්පය ද මීට අයත්වේ.

හදවත නතර කරන්නා

පර්යේෂණයේ නියැලුණු ඇමෙරිකාවේ ඔරීගන් සෞඛ්‍ය හා විද්‍යා විශ්ව විද්‍යාලයේ හා සෝක් ආයතයේ මෙන්ම දකුණු කොරියාවේ මූලික විද්‍යාව පිළිබඳ ආයතනයේ විද්‍යාඥ පිරිස සිය පර්යේෂණයේදී මූලික වශයෙන් අවධානය යොමු කළේ හයිපර්ට්‍රොෆික් කාඩියෝමයෝපති (hypertrophic cardiomyopathy) නම් වූ රෝගාබාධ තත්ත්වය කෙරෙහිය.

පොදු ආබාධ තත්ත්වයක් වූ මෙය සෑම 500 දෙනෙකුගෙන් එක් අයෙකුට බලපාන අතර එය වහාම හෘදයේ ගැස්ම නතර කිරීමට හේතුවන තත්ත්වයකි.

මෙය එක් ජානයක වැරැද්දක් වන අතර එය දරන ඕනෑම අයෙකු සතුව එම වැරැද්ද සිය දරුවන් වෙත සම්ප්‍රේෂණය කිරීමේ 50-50 ක ඉඩක් පවතී.

මෙම වැරැද්ද නිවැරදි කිරීමේ අධ්‍යයනයේදී පර්යේෂකයින් විසින් කරන ලද්දේ හයිපර්ට්‍රොෆික් කාඩියෝමයෝපති තත්ත්වය ඇති පුද්ගලයකුගේ ශුක්‍රාණු, පරිත්‍යාග කරන ලද සෞඛ්‍ය සම්පන්න ඩිම්බවලට එන්නත් කිරීමය. එහිදී එම නිවැරදි කිරීම සඳහා ක්‍රිස්ප්ර් තාක්ෂණය උපයෝගී කරගෙන ඇත.

සෑම අවස්ථාවකදීම එය සාර්ථක නොවුවත්, කරන ලද වෙනස්කම් හේතුවෙන් කළලවලින් 72% ක් එම රෝගාබාධයෙන් මිදී ඇති බව පෙනෙන්නට විය.

සදාකාලික ප්‍රතිලාභය

"මේ අලුත්වැඩියා කිරීම ඉදිරි සෑම පරම්පරාවක්ම ඉදිරියට ගෙන යාවි, එම පවුල් පැලැන්තියේ තිබුණු ජාන විකෘතිතාවක් අපි ඉවත් කළා" යනුවෙන් පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන තැනැත්තෙකු වන ආචාර්ය ශෞක්රාත් මිටලිපොෆ් පැවසීය.

"මේ තාක්ෂණය භාවිත කරලා, මේ රෝගය නිසා පරම්පරාගතවත් අවසානයේදී මානව සමාජයටත් එල්ලවන පීඩනය අඩු කිරීමේ හැකියාව තිබෙනවා" යැයි ද ඔහු සඳහන් කළේය.