වෙනිසුවෙලාව: ජනමත විචාරණයට 'ලක්ෂ 70 ක්'

වෙනිසුවෙලාවේ විරුද්ධ පක්ෂය විසින් සංවිධානය කරන ලද නිල නොවන ජනමත විචාරණයේ දී ලක්ෂ හැත්තෑවකට අධික ජනකායක් සිය ඡන්දය භාවිත කර තිබෙන බව එය නිරීක්ෂණය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරු පවසති.

රටේ ඡන්දදායකයන්ගෙන් අති බහුතරය සමාජවාදී ආණ්ඩුව යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනවලට එරෙහි බව ද ජනමත විචාරණයෙන් හෙළි වී තිබේ.

6,492,381 ක පිරිසක් රට තුළ දී සිය ඡන්දය භාවිත කළ අතර, තවත් 693,789 දෙනෙක් විදේශයන්හිදී ඡන්දය භාවිත කර තිබෙන බව වෙනිසුවෙලා මධ්‍යම විශ්වවිද්‍යාලයේ කුලපතිනි සිසිලියා අරෝචා (Cecilia García Arocha) සඳහන් කළාය.

ඒ අතරින් 98% ක් ජනාධිපති මදුරෝ යෝජනා කරන නව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරති. එමෙන්ම 2019 දී ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ප්‍රථම යළි ජනපතිවරණයක් කැඳවිය යුතුය යන යෝජනාව ද ඡන්දදායකයන් අනුමත කර තිබේ.

ආරක්ෂක හමුදාව රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු ද යන්න ජනමත විචාරණයට යොමු කර තිබුණ තුන් වෙනි ප්‍රශ්නයය. ජනතාව එම යෝජනාව ද අනුමත කර තිබෙන බව නිරීක්ෂකයෝ පවසති.

කෙසේ නමුත් මෙය නීත්‍යානුකූල ජනමත විචාරණයක් නොවේ.

ජනාධිපති මදුරෝ එය විග්‍රහ කරන්නේ "තේරුමක් නැති" මැතිවරණයක් ලෙසිනි.

වෙනිසුවෙලාවේ මිලියන 19.5 ක් ලියාපදිංචි ඡන්දදායකයන් සිටින අතර ඒ අතරින් මිලියන 7.7 ක් 2015 පැවති මහ මැතිවරණයේදී විරුද්ධ පක්ෂයට ඡන්දය දුන්හ.

ජනාධිපති නිකොලස් මදුරෝ ගේ ආධාරකරුවන් සහ අලුත් මැතිවරණයක් ඉල්ලා සිටින විපක්ෂයේ ආධාරකරුවන් අතර මාස ගණනක් මුළුල්ලේ ප්‍රචණ්ඩ ගැටුම් පවතින අතර, කරකස් අගනුවරදී සිය ඡන්දය භාවිතා කිරීමට පෝලිම් ගැසී සිටි 61 හැවිරිදි හෙදියක වෙඩි තබා මරා දමා තිබිණ.

යතුරු පැදියකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තවත් තිදෙනෙක් තුවාල ලැබූහ.

එය නිල නොවන සන්නද්ධ කණ්ඩායමක ක්‍රියාවක් බවට විපක්ෂය චෝදනා කරයි.

මේ අතර පැහැරගනු ලැබූ මාධ්‍යවේදියෙකුට පහර දී, ඔහු සතුව තිබූ සියල්ල කොල්ලකා තිබේ. දිවි බේරාගෙන ඔවුන්ගෙන් පළායාමට මාධ්‍යවේදියා සමත්විය.

රට පුරා පවතින ප්‍රචණ්ඩ ගැටුම් හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සියයකට වැඩි පිරිසක් මරුමුවට පත් වී තිබේ.