"නෝනාවරුනි මහත්වරුනි" ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලන්ඩනයේ උමං දුම්රිය තුළ සහ දුම්රිය නැවතුම්පොළ තුළ නිවේදන ප්‍රචාරය කිරීමේ දී භාවිතා කෙරෙන "නෝනාවරුනි මහත්වරුනි" ("ladies and gentlemen")යන ආමන්ත්‍රණය ඉවත් කිරීමට ලන්ඩන් ප්‍රවාහන සේවය තීරණය කරයි.
ඒ වෙනුවට කිසිදු ලිංගභේදයක් නොදැක්වෙන "hello everyone" යන යෙදුමෙන් ආමන්ත්‍රණය කරන ලෙස ලන්ඩනයේ උමං දුම්රිය සේවකයන්ට උපදෙස් දී තිබේ.
එහි බලධාරීන් පවසන්නේ සියලුදෙනා "සාදරයෙන් පිළිගන්නා බව" අවධාරණය කිරීම සඳහා මෙම පියවර ගත් බවය.
ලන්ඩනයේ උමං දුම්රිය සේවය ගෙන ඇති මෙම තීරණය, සමලිංගිකත්වයට සම තැන ලබාදීම අගයන කණ්ඩායම්වල පැසසුමට ලක්වී ඇති අතර ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් ගේ සහයෝගය ද ඊට හිමිවී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඒ අනුව "නෝනාවරුනි මහත්වරුනි" යනුවෙන් පටිගත කොට ඇති සියලුම නිවේදන වෙනස් කොට ඒවාට නව ආමන්ත්‍රණය යොදා නැවත පටිගත කිරීමට නියමිතය.
ලන්ඩන් නුවර පුරා විහිදී ඇති විවිධත්වය විදහා දැක්වෙන පරිදි සහ සියලු ජන ප්‍රජා ඇතුළත්වන පරිදි භාෂාව යොදා ගැනීමට කටයුතු කරන බව ලන්ඩන් ප්‍රවාහන ජාලයේ අධ්‍යක්‍ෂ මාර්ක් ඊවර්ස් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, TFL
සමලිංගික ප්‍රජාවගේ අයිතීන් සුරැකීම සඳහා කටයුතු කරන බ්‍රිතාන්‍යයේ 'ස්ටෝන්වෝල්' සංවිධානය කියා සිටියේ ජනතාව ආමන්ත්‍රණය කිරීමේ දී සියලු ප්‍රජාවන් ඇතුළත් වියයුතු බවය.
"මේ පියවරට අපේ ප්‍රශංසාව හිමිවෙනවා. සෑම ලිංගිකත්වයක් ම ආමන්ත්‍රණය වන පරිදි භාෂාව හැසිරවීම සිදුවිය යුතුයි. සමලිංගික ප්‍රජාවට ඒක දැඩි ලෙස බලපානවා." යනුවෙන් ඔවුහු පැවසුහ.










