ට්‍රම්ප් සංචාරක තහනම: ආච්චිටයි සීයටයි අවසර

ට්‍රම්ප්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ සංචාරක තහනම තවදුරටත් ලිහිල් කරමින් අධිකරණ නියෝගයක් නිකුත්වෙයි.

මෙම සංචාරක තහනම මගින් එක්සත් ජනපදයේ ජීවත්වන කෙනෙකුගේ ආච්චි, සීයා සහ තවත් සමීප ඥාතීන්ට රටට ඇතුළුවීම වළක්වාලිය නොහැකි බව හවායි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයා තීරණය කළේය.

ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරක තහනම ක්‍රියාවට නැංවීම සඳහා පසුගියදා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසරය ලබා දෙන ලදී.

එක්සත් ජනපදයේ ජීවත් වන්නන්ගේ සමීප ඥාතීන් එම තහංචියෙන් ඉවත් කර ඇති අතර එම ඥාතීන් කවුරුන්ද යන වග ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරනු ලැබ තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව ආච්චි, සීයා, මුනුබුරු මිනිබිරියන්, නැන්දා, මාමා සහ ඥාති පුත්‍රයන් හෝ ඥාති දියණියන් "සමීප" ඥාතීන් වශයෙන් නොසැලකෙනු ඇත.

"සමීප" ඥාතීන් ලෙස වර්ග කර තිබුණේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා, දෙමාපියන්, දරුවන් හෝ සහෝදර සහෝදරියන් පමණි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, "සමීප" ඥාතීන් ලෙස වර්ග කර තිබුණේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා, දෙමාපියන්, දරුවන් හෝ සහෝදර සහෝදරියන් පමණි

නමුත් එම තීන්දුව නොසලකා හරිමින් හවායි දිස්ත්‍රික් උසාවිය තීරණය කළේ ඔවුන්ද සමීප ඥාතීන් ගණයට ගැනෙන හෙයින් ඔවුන්ට සංචාරක තහනම ක්‍රියාත්මක නොකළ යුතු බවය.

'ට්‍රම්ප් සංචාරක තහංචිය' ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන මුස්ලිම් බහුතරයක් සහිත රටවලටයි.

පසුගිය මාසයේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයේ දැක්වෙන්නේ එක්සත් ජනපදයේ ජීවත්වන අයෙකුගේ "සමීප" ඥාතියෙකුට හෝ එක්සත් ජනපදයේ පවතින ව්‍යාපාරයකට "සමීප" සබඳතාවක් ඇති අයෙකුට හැර ඉහත කී රටවල් හයෙන් පැමිණෙන අනෙකුත් සියලු දෙනාගේ වීසා ඉල්ලුම්පත් ප්‍රතික්‍ෂේප කළ හැකි බවය.

මෙහිදී "සමීප" ඥාතීන් ලෙස වර්ග කර තිබුණේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා, දෙමාපියන්, දරුවන් හෝ සහෝදර සහෝදරියන් පමණි.

ආච්චි, සීයා සහ තවත් සමීප ඥාතීන්ට රටට ඇතුළුවීම වළක්වාලිය නොහැකි බව විනිසුරුවරයා තීරණය කළේය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ආච්චි, සීයා සහ තවත් සමීප ඥාතීන්ට රටට ඇතුළුවීම වළක්වාලිය නොහැකි බව විනිසුරුවරයා තීරණය කළේය

සංචාරක තහනමක් පැනවීම ජනාධිපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දුවක් විය.

ඒ සඳහා නිකුත් කළ විධායක නියෝගයට ජනාධිපති ට්‍රම්ප් අත්සන් තැබීමෙන් අනතුරුව එය අවලංගු කරමින් මීට පෙර එක්සත් ජනපදයේ පහළ උසාවියක විනිසුරුවරයෙක් නියෝගයක් නිකුත් කළේය.

එම අධිකරණ නියෝගය ඇමරිකාවේ ෆෙඩරල් අභියාචනාධිකරණයක් විසින් තහවුරු කරනු ලැබුණි.

ඉන් සති කිහිපයකට පසුව එම තහනම නැවත බලාත්මක කරන ලෙස ධවල මන්දිරය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඊට අවසරය ලැබුණු නමුත් ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරක තහංචිය අනුමත කළ යුතුද? ප්‍රතික්ෂේප කළ යුතුද? යන්න සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් ලබන ඔක්තෝබර් මාසයේ සිදු කරන බව ඇමෙරිකානු උපරිමාධිකරණය පැවසීය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද ඉහත කී තීන්දුව සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කරමින් එය ඇමෙරිකාවේ ආරක්ෂාව අතින් ලද 'විජයග්‍රහණයක්' හැටියට විග්‍රහ කළේය.