ට්‍රම්ප්ගේ සංචාරක තහනම ක්‍රියාත්මකයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කරමින් එය ඇමෙරිකාවේ ආරක්ෂාව අතින් ලද 'විජයග්‍රහණයක්' හැටියට විග්‍රහ කළේය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කරමින් එය ඇමෙරිකාවේ ආරක්ෂාව අතින් ලද 'විජයග්‍රහණයක්' හැටියට විග්‍රහ කළේය

මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල් හයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද සංචාරක තහනම අද (ජුනි 30) සිට ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව එක්සත් ජනපදයේ ජීවත්වන අයෙකුගේ "සමීප" ඥාතියෙකුට හෝ එක්සත් ජනපදයේ පවතින ව්‍යාපාරයකට "සමීප" සබඳතාවක් ඇති අයෙකුට හැර එම රටවල් හයෙන් පැමිණෙන අනෙකුත් සියලු දෙනාගේ වීසා ඉල්ලුම්පත් ප්‍රතික්‍ෂේප කළ හැකිය.

මෙම සංචාරක තහනමට ජනාධිපති ට්‍රම්ප් අත්සන් තැබීමෙන් අනතුරුව එය අවලංගු කරමින් මීට පෙර එක්සත් ජනපදයේ පහළ උසාවියක විනිසුරුවරයෙක් නියෝගයක් නිකුත් කළේය.

එම අධිකරණ නියෝගය ඇමරිකාවේ ෆෙඩරල් අභියාචනාධිකරණයක් විසින් තහවුරු කරනු ලැබුණි.

ඉන් සති කිහිපයකට පසුව එම තහනම නැවත බලාත්මක කරන ලෙස ධවල මන්දිරය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට එරෙහිව පැවති විරෝධතාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප්ගේ සංචාරක තහනමට එරෙහිව පැවති විරෝධතාවක්

එම ඉල්ලීම සළකා බැලූ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති ට්‍රම්ගේ සංචාරක තහංචියෙන් කොටසක් පමණක් ක්‍රියාවට නැංවීමට අනුමැතිය ලබා දුන්ණේය.

එක්සත් ජනපදයේ ජීවත් වන්නන්ගේ සමීප ඥාතීන් එම තහංචියෙන් ඉවත් කර ඇති අතර එම ඥාතීන් කවුරුන්ද යන වග ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරනු ලැබ තිබේ.

කෙසේ නමුත් නැන්දා, මාමා සහ ඥාති පුත්‍රයන් හෝ ඥාති දියණියන් "සමීප" ඥාතීන් වශයෙන් මෙහිදී නොසැලකෙනු ඇත.

එක්සත් ජනපදයේ ජීවත්වන කෙකෙකුගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා, දෙමාපියන්, දරුවන් හෝ සහෝදර සහෝදරියන්ට වීසා බලපත් නිකුත් කිරීම සළකා බැලෙනු ඇත.

මියාමි ගුවන්තොටුපල ඉදිරිපිට පැවති විරෝධතාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මියාමි ගුවන්තොටුපල ඉදිරිපිට පැවති විරෝධතාවක්

එහෙත් ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරක තහංචිය අනුමත කළ යුතුද? ප්‍රතික්ෂේප කළ යුතුද? යන්න සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් ලබන ඔක්තෝබර් මාසයේ සිදු කරන බවත් ඇමෙරිකානු උපරිමාධිකරණය පවසයි.

ට්‍රම්ප් සංචාරක තහංචිය ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන මුස්ලිම් බහුතරයක් සහිත රටවලටයි.

සංචාරක තහනමක් පැනවීම ජනාධිපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දුවක් වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනාධිපතිවරයා ලද ජයග්‍රහණයක් වෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද ඉහත කී තීන්දුව සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කරමින් එය ඇමෙරිකාවේ ආරක්ෂාව අතින් ලද 'විජයග්‍රහණයක්' හැටියට විග්‍රහ කළේය.