“අකුරු අහිමි ළමා ලෝකයක්”

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සමස්ත බාල පරපුරට අධ්‍යාපනය ලබා දීමේ ජගත් ප්‍රතිඥා ඉටුකර ගැනීමේ අපේක්ෂා ඉටු වී නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ ඇති වාර්ෂික සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි.
එම අපේක්ෂාව මුදුන්පත් කර ගැනීම අතින් ඉතා සුළු ප්‍රගතියක් ලබා ඇති නමුත් විසිහය කෝටි හතළිස් ලක්ෂයක් පමණ ලොව පුරා ළමුන් තවමත් පාසල් නොයන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unesco) පවසයි.
ලෝක ළමා පරපුරෙන් සෑම ළමුන් දහදෙනකුගෙන් එක් දරුවකුට ආසන්න සංඛ්‍යාවක් ප්‍රාථමික මට්ටමේ අධ්‍යාපනය සඳහාවත් අවස්ථාවක් නොලබන බව එක්සත් ජාතීන්ගේ ඉහත කී වාර්තාවේ දැක්වෙයි.
අධ්‍යාපනය සඳහා වැඩි ඉඩකඩ ලැබීම රටක දිළිඳු භාවය අවම කිරීමට සහ ආරක්ෂාව නංවාලීමට හේතු වෙන බවත් යුනෙස්කෝව පවසයි.
එක්සත් ජාතීන්ගේ මෙම වාර්තාව සකස් කරනු ලැබ තිබෙන්නේ පාසල් අධ්‍යාපනය ලබන ළමුන්ගේ සංඛ්‍යාව සහ අධ්‍යාපනය සහතික කිරීම සඳහා දෙන ලද ජාත්‍යන්තර ප්‍රතිඥා විවරණය කරමිනි.
ඒ අනුව 2015 වසර දක්වා තොරතුරු පිරික්සමින් පිළියෙළ කරනු ලැබ ඇති යුනෙස්කෝ වාර්තාව "මෑත වසරවල අදාළ කාරණයේ සැබෑ ප්‍රගතියක් ලැබ නොමැති" බව සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Pacific Press
දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීම ඇතැම් දුප්පත් රටවල ස්ථාවරභාවය, ආර්ථිකය සහ සෞඛ්‍යය නංවාලීමේ අනිවාර්ය අංගයක් ලෙස හඳුනා ගනු ලැබ ඇතත්, දශ ලක්ෂ සංඛ්‍යාත පවුල්වල දරුවන්ට තාමත් පහළම මට්ටමේ මූලික අධ්‍යාපනයවත් අහිමි බව වාර්ෂික සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරෙයි.
මෙම ප්‍රශ්නයේ නරකම තත්වය උප සහරා අප්‍රිකානු කලාපයේ දක්නට ඇති අතර, එහි ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු වයසේ ළමුන් 21% ක්ද, යොවුන් දරුවන්ගෙන් 36% ක්ද අධ්‍යාපන වරම අහිමි තත්වයක පසු වෙති.
එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි ලෝකයේ ළමුන් හයකෝටි දශ ලක්ෂයක් ප්‍රාථමික අධ්‍යාපනය නොලබති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ කාරණය ආසියානු රටවල දුප්පත් පවුල් අතරත් දක්නට ලැබෙයි.
ඉතියෝපියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, නයිජීරියාව, පකිස්තානය සහ සුඩානය යන රටවල ළමුන්ගෙන් තුනෙන් එකකට අධික සංඛ්‍යාවක් පාසල් නොයති.
ගත වූ වසර විසි පහකට අධික කාලය තුළ ලෝක නායකයන් සියලු දරුවන්ට ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සහතික කිරීමේ ඉලක්කයක් ප්‍රකාශයට පත් කර ඇති නමුත් එම අරමුණ දිගින් දිගටම හුදු ප්‍රාර්ථනාවකට පමණක් සීමා වී ඇත.
ඒ අතරවාරයේ දැන් ප්‍රකාශයට පත්කර ඇති අලුත්ම ඉලක්කය වන්නේ 2030 වන විට ලෝක මට්ටමින් ප්‍රාථමික ළමා අධ්‍යාපනය සහතික කරනු ලැබීමයි.
එහෙත් "ඉදිරි ළමා පරපුරත් පාසල් අහිමි ප්‍රජාවක් වනු ඇතැයි" දැනට සිදුවෙමින් පවතින ප්‍රවණතාවන් මැනැවින් විශ්ලේෂණය කරන එක්සත් ජාතීන්ගේ වාර්තාව කියා සිටියි.
ලිංගිකත්වය සහ සමාජ පන්තිය
සංඛ්‍යාවට සාපේක්ෂව බලන විට ගැහැණු දරුවන්ට අධ්‍යාපනය අහිමි වීමේ වැඩි ඉඩකඩක් පවතින අතර, අනිත් අතින් දුප්පත් පොහොසත් බෙදීමත් අධ්‍යාපනය අහිමි වීමට හේතුවක් වී ඇත.
දුප්පත් රටවල් ගත්විට ඒ රටවල පොහොසත් පවුල්වල දරුවෝ දුප්පත් දරුවන්ට සාපේක්ෂව පාසල්වලට පිවිසීම අතින් වැඩි ඉඩකඩක් ලබති.
උදාහරණයක් වශයෙන් එවැනි රටක පොහොසත් දරුවකු පාසලක් ලැබීම අතින් දුප්පත් දරුවකුට වඩා නව ගුණයකින් ඉදිරියෙන් සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එම තත්වය මග හරිමින් පාසල් අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීම මගින් ලෝකය පුරා දිළිඳු භාවය අවම කර ගත හැකි මට්ටම පෙන්නුම් කෙරෙන විශ්ලේෂණයක් ද ඉහත කරුණු විස්ලේෂණය කරන එක්සත් ජාතීන්ගේ වාර්තාවට ඇතුළත් වෙයි.
ද්විතීයික අධ්‍යාපනය ලද යුතු සියළු ළමුන් එම අධ්‍යාපනය සපුරා ලන්නේ නම් එමගින් ලබන ආර්ථික ප්‍රතිලාභ අනුව හතළිස් කෝටියකට අධික ප්‍රජාවක් දිළිඳු භාවයෙන් මිදෙන අතර, ඒ සමඟ දකිනු ආසියාවේ සහ උප සහරා අප්‍රිකාවේ දුප්පත්කම තුනෙන් දෙකකින් අඩුවෙන බව එක්සත් ජාතීන්ගේ අධ්‍යයනය සඳහන් කරයි.
එවැනි ජයග්‍රහණ ලබාගත හැකි නමුත්, පාසල් අධ්‍යාපනය නොලබන දරුවන්ගේ සංඛ්‍යාව අඩුකර ගැනීම අතින් ලබා ඇති ප්‍රගතිය තවමත් එක තැන සිර වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

මේ සියවස ආරම්භයේ පටන් බලන විට, මුල් වසරවල එහි සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කළත්, 2008 වසරේ පටන් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබන දරුවන්ගේ අනුපාතයේ වෙනසක් සිදුව ඇත්තේ ඉතාම සුළු මට්ටමකින්ය යන්න එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවයි.









