ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩෙංගු මදුරුවා මැඩීමට ඕස්ට්‍රේලියාවෙන් බැක්ටීරියාවක්?
ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින ඩෙංගු රෝගය මර්දනය කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ සොයාගෙන තිබෙන නව බැක්ටීරියාව යොදා ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත් සේනාරත්න පවසයි.
ඕස්ට්‍රේලියාව සොයා ගත් බැක්ටීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක් ඇති අතර, එය දැනට වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවල අත්හදා බලා තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය කෘෂිකර්ම කටයුතුවලට ද යොදා ගනු ලබන බව පවසන ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ඕස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ ද එම පරීක්ෂණ ආරම්භ කිරිමට බලාපොරොත්තු වේ.
"එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටීරියාව ඇතුල් කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා සඳහන් කරයි," යනුවෙන්ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පවසයි.
රෝගීන් 63987 ක්
නව බැක්ටීරියාව හඳුන්වා දීම පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යවරයා ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.
මේ වසරේ ගතව ගිය මාස හය ඇතුළත ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 63987 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
ඒ අතරින් ආසන්න වශයෙන් 42.62%ක් පමණ වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි.
උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික වසංගත රෝග විද්‍යා ඒකකය රෝගීන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර සෙනසුරාදා (ජුනි 17) මුල්ලේරියාව අයිඩීඑච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඩෙංගු රෝගීන්ගේ සුව දුක් ද විමසා බැලුවේය.
ඩෙංගු රෝගීන්ගෙන් රෝහල පිරි පැවතීම හේතුවෙන් මතු වූ තදබදය හමුවේ රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කර තිබුණත්, රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම් සමග ඔවුන් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල් වෙත යොමු කිරිමෙන් අනතුරුව රෝහලේ කටයුතු යළිත් ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් පවතී.