ඇමෙරිකානු යුද නැවක් අනතුරේ; නැවියන් හතක් නැහැ

අනතුරට පත් ඇමෙරිකානු නැවේ කාර්ය මණ්ඩලය ජපානයේ බේරා ගැනීමේ කණ්ඩායම් විසින් ඉවත් කර ගනු ලබන ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරට පත් ඇමෙරිකානු නැවේ කාර්ය මණ්ඩලය ජපානයේ බේරා ගැනීමේ කණ්ඩායම් විසින් ඉවත් කර ගනු ලබන ආකාරය

ජපානයේ නැගෙනහිර මුහුදු සීමාවෙන් ඔබ්බේ දී ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රාවක් සහ භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන කන්ටේනර් නැවක් ගැටීමෙන් ඇමෙරිකානු නාවික හමුදා භටයන් හත්දෙනකුට සිදු වූ දෙයක් දැනගැනීමට නැත.

ජපානයේ වෙරළාරක්ෂක හමුදාව සෝදිසි කිරීමේ සහ බේරා ගැනීමේ කණ්ඩායමක් අනතුර සිදුව ඇති මුහුදු කලාපයට හෙලික්ප්ටර් යානා මගින් යවා ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින්, අනතුර සිදු වීමත් සමඟ නෞකාව තුළට තවත් ජලය ගලා ඒම වළක්වා ලමින් එහි කාර්ය මණ්ඩලය විසින් වසා දමනු ලැබ ඇති කොටස්වල සිය නාවික හමුදා භටයන් රැඳී සිටීමේ ඉඩකඩක් පවතින බව කියා සිටියේය.

යුද නැවේ ගැටුන භාණ්ඩ ප්‍රවාහක නෞකාව යාත්‍රා කරමින් තිබුණේ පිලිපීන කොඩිය සහිතවයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද නැවේ ගැටුන භාණ්ඩ ප්‍රවාහක නෞකාව යාත්‍රා කරමින් තිබුණේ පිලිපීන කොඩිය සහිතවයි.

අනතුරට ලක් වූ 'USS Fitzgerald' ඇමෙරිකානු යුද නැවේ අණදෙන නිලධාරියා සහ තවත් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබ සිටි අතර ඔවුන් ජපානයට අයත් හෙලිකොප්ටර් යානයක් මගින් බේරා ගනිමින් රැගෙන ගොස් ඇත.

එම යුද නැව සමඟ ගැටුණ මීටර් 220 ක් දිග භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන නෞකාව යාත්‍රා කරමින් තිබුණේ පිලිපීන කොඩිය සහිතවයි.

සිකුරාදා (ජූනි 16) රාත්‍රී කාලයේ සිදු වූ ගැටුමට හේතුව කුමක්ද යන්න තවමත් ප්‍රකාශයට පත්කොට නැත.

අනතුර සිදු වූ මුහුදු කලාපය
ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුර සිදු වූ මුහුදු කලාපය

ගැටුමේදී එම කන්ටේනර් නෞකාවට වැඩි අලාභ හානි සිදුව නැති බවත් වාර්තා වෙයි.අනතුරට පත් ඇමෙරිකානු යුද නැව වෙනත් නැවක ආධාරයෙන් දකුණු ජපානයේ වරායකට ගෙන ආ බව අලුත්ම වාර්තා මගින් පැවසෙයි.

අනතුර සමඟ අතුරුදහන් වූ නැවියන් සත්දෙනා සෙවීමේ මෙහෙයුම තවම ක්‍රියාත්මක වෙයි.