කටාරයට ඉරානයෙන් ආහාර

ඡායාරූප මූලාශ්‍රය, IRANAIR
අසල්වාසී රටවල් මග අවුරා තිබීම හේතුවෙන් ආහාර හිඟයකට මුහුණ දී සිටින කටාර් රාජ්‍යයට ආහාර ද්‍රව්‍ය රැගත් ඉරාන ගුවන් යානා පහක් ළඟා වී තිබේ.
කටාරයට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍යවලින් 40%ක් සෞදි අරාබිය හරහා ප්‍රවාහනය කෙරෙමින් තිබුණු අතර මේවනවිට එය නතර කිරීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත.
සෞදිය ඇතුළු රටවල් පහක් කටාරය සමඟ සබඳතා අතහැර දැමුවේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට සහයෝගය දෙන බවට චෝදනා කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
කටාරයෙන් ඉල්ලුම පවතින තාක් ඉරානයෙන් ආහාර ද්‍රව්‍ය සැපයෙන බව ඉරාන ගුවන් සේවයේ ප්‍රකාශක ශාරුක් නෞෂාබාදි ප්‍රංශ පුවත් සේවයට පැවසීය.
"එළවලු, පලතුරු වැනි ආහාර රැගත් ගුවන් යානා පහක් මේවන විට කටාරයට යවා තිබෙනවා. සෑම ගුවන් යානයක් ම ටොන් 90ක් පමණ බරැති ආහාර තොග රැගෙන යනවා. තවත් යානයක් අද (ඉරිදා) යැවීමට සුදානම් කෙරෙනවා." යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
මෙම ආහාර තොග කටාරයට ලැබෙන්නේ අධාරයක් වශයෙන්ද නැතහොත් මුදලටද යන්න වග තවමත් පැහැදිලි නැත.
මේ අතරතුර තවත් ආහාර ද්‍රව්‍ය ටොන් 350ක් සහිත නෞකා තුනක් ද ඉරානයෙන් පිටත් වීමට නියමිත බව ටස්නීම් පුවත් සේවය උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබේ.
එමෙන්ම සෞදි අරාබිය, බහරෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම ගුවන් කලාපය වසා දැමීමට පියවර ගැනීමෙන් අනතුරුව ඉරානය සිය ගුවන් කලාපය කටාරය වෙනුවෙන් විවෘත කර තිබේ.








