සමලිංගිකයන් දෙදෙනාට ප්‍රසිද්ධ වේදිකාවක දඬුවම්

බණ්ඩා අචේ හි මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට තනන ලද වේදිකාවක් මත

ඡායාරූප මූලාශ්‍රය, JUNAIDI

ඡායාරූප ශීර්ෂ වැකිය, බණ්ඩා අචේ හි මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට තනන ලද වේදිකාවක් මත

ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදී සමලිංගිකව එක්වූ තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර 85 බැගින් වූ දඬුවමක් ප්‍රසිද්ධියේ ලබා දෙයි.

සුදු පැහැති ලෝගුවක් අන්දවා වේදිකාවක් මතට නංවා සිටි මෙම තරුණයන් දෙදෙනාට වේවැල් පහර එල්ල කරනු ලැබුවේ අඳුරු පැහැති ලෝගුවලින් සැරසී හිස ආවරණයකර සිටි කණ්ඩායමක් විසිනි.

විසි හැවිරිදි සහ විසිතුන් හැවිරිදි මොවුන් දෙදෙනාට වේවැල් පහර 85ක් ලබා දෙන ලද්දේ අචේ ප්‍රාන්තයේ අග නගරය වන බණ්ඩා අචේ හි මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට තනන ලද වේදිකාවක් මතදී ය.

මෙම අවස්ථාව නැරඹීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අතර දඬුවම ක්‍රියාත්මක කිරීමේ දී බොහෝ දෙනා ප්‍රීති ඝෝෂා කළෝය.

මෙම අවස්ථාව නැරඹීම සඳහා විශාල පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, JUNAIDI

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම අවස්ථාව නැරඹීම සඳහා විශාල පිරිසක්

නිරුවත්ව

සමලිංගිකත්වයට එරෙහි කණ්ඩායමක් විසින් මෙම තරුණයන් දෙදෙනා යහන්ගතව සිටියදී අල්ලා ගනු ලැබුනේ පසුගිය මාර්තු මාසයේදී ය. මින් එක් තරුණයෙකු වෛද්‍ය ශිෂ්‍යයෙකි.

එම අවස්ථාවේ මෙම දෙදෙනා නිරුවත්ව සිටි අතර එම වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර තිබුණි.

අචේ ප්‍රාන්තයේ ශරියා උසාවිය නිවේදනය කළේ මෙම චූදිතයන් ඉස්ලාමීය නීතිය උල්ලංඝනය කර ඇති බවය.

මීට පෙර වේවැල් පහර ලබාදී ඇත්තේ සූදුවේ යෙදීම සහ මත්පැන් පානය යන චෝදනාවලට වැරදිකරුවන් වූ අයට පමණි.

වේදිකාවක් මත

ඡායාරූප මූලාශ්‍රය, JUNAIDI

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අනෙකුත් ප්‍රාන්තවල සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර නොමැති නමුත් අචේ ප්‍රාන්තය තුළ පමණක් ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී තිබේ.

එම ප්‍රදේශය තුළ හටගත් කැරැල්ලක් නිමාවට ගෙන ඒම සඳහා එවකට ඇතිකරගත් එකඟතා අනුව මධ්‍යම ආණ්ඩුව විසින් එකී බලතල අචේ ප්‍රාන්තයට පවරන ලදී.

පුද්ගලයන්ට වෙනස්කම් සිදුකිරීම සඳහා ඉවහල්වන, අචේ ප්‍රාන්තයට විශේෂිත වූ නීති තහනම් කරන ලෙස 'හියුමන් රයිට්ස් වොච්' මානව හිමිකම් සංවිධානය ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගෙන් ඉල්ලීමක් කර තිබේ.