'තලාක්' දික්කසාදය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට

මතභේදයට තුඩු දී ඇති ඉස්ලාමීය 'තලාක්' දික්කසාද සම්ප්‍රදාය එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයක් ඇරඹිණි.

එම සම්ප්‍රදාය අනුව සිය බිරිඳ ඉදිරිපිට තුන්වතාවක් 'තලාක්' යන වචනය හඬ නැගීම මගින් (Triple Talaq) පුරුෂයකුට සිය දික්කසාදය ප්‍රකාශයට පත් කළ හැක.

'තලාක්' වචනය තෙවරක් හඬ නගා මුස්ලිම් පුරුෂයෙකුට සිය විවාහක බිරිඳ මොහොතකින් දික්කසාද කිරීමේ පියවර අනුගමනය කරන ජන කොටසක් සිටින රටවල් අතලොස්ස අතරට ඉන්දියාව ද අයත්වේ.

'තලාක්' සම්ප්‍රදාය ඉස්ලාම් දහමේ මූලික හරයන්ට කෙතරම් එකඟද යන්න සොයා බලන බව අධිකරණය පවසයි.

කෙසේ නමුත් 'තලාක්' සම්ප්‍රදාය "වෙනස් ලෙස සැළකීමක්" වශයෙන් හඳුවන්වන මුස්ලිම් කාන්තා සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාධරයෝ ඊට විරෝධය පළකරති.

මේ අතර සිය ආගමික කරුණක් සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් වීම පිළිබඳ බොහෝ මුස්ලිම් කණ්ඩායම් විරෝධය පළ කරති.

'තලාක්' සම්ප්‍රදාය අභියෝගයට ලක් කරමින් එල්ලවන විරෝධතා සම්බන්ධයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ද සහාය හිමි වේ.

'තලාක්' සම්ප්‍රදාය හා සම්බන්ධ සංවේදී කාරණය විභාග කරනු ලබන්නේ විවිධ ආගම්වලට අයත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

ඉන්දියාවේ සුළුතර ප්‍රජාවෙන් වැඩි කොටසක් ඉස්ලාම් භක්තිකයෝ වෙති.

ඉන්දියාවේ කෝටි පහළොව හමාරක් වන මුස්ලිම් ප්‍රජාවගේ විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් තීන්දු කෙරෙන්නේ ෂරියා නීතිය හෝ ඉස්ලාමීය නීතිය මත පදනම්ව ඇති බව පෙනෙන්න තිබෙන මුස්ලිම් ප්‍රජාවට පමණක් බලපාන වෙනස් නීතියකට අනුවය.