පාර්ලිමේන්තු අසුනේ හිඳ දරුවාට මව්කිරි

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුරදී තම දරුවාට මව්කිරි දුන් පළමු මන්ත්‍රීවරිය ලෙස සෙනෙට් සභික ලරිස්සා වෝටර්ස් ඉතිහාසගත වන්නීය.

මාස දෙකක් වයසැති තම දියණියට, ඇය මව්කිරි පොවමින් සිටියේ පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් සිදුවෙමින් පැවති අවස්ථාවකදී ය.

සෙනෙට් සභික ලරිස්සා වෝටර්ස් ඕස්ට්‍රේලියාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන හරිත පක්‍ෂය නියෝජනය කරන්නීය.

පසුගිය වසරේ පටන්, පාර්ලිමේන්තු සභා ගර්භය තුළ තම දරුවන්ට මව්කිරි දීම සඳහා ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරියන්ට නීතියෙන් අවසර ලැබී තිබුනත් මේ දක්වා කිසිවෙකු එය ක්‍රියාවට නංවා නොතිබුණි.

ඒ සඳහා නව නීති සම්පාදනය වූයේ 2015 වසරේ දී ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීමකින් අනතුරුවය.

රාජකාරි කටයුතු අතපසුවීම වළක්වා ගැනීම සඳහා තම දරුවාට අවශ්‍ය මව්කිරි දොවාතබා පාර්ලිමේන්තුවට පැමිණීම සළකා බලනමෙන් එවකට මන්ත්‍රීවරියක වූ කෙලී ඕඩ්වයර් ගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබුණි.

එය ඕස්ට්‍රේලියානු දේශපාලනය තුළ මතවාදයට ලක් වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, බිළිඳු දරුවෙකු සමඟ පාර්ලිමේන්තු සභාවක අසුන්ගැනීමටත් අවශ්‍ය විටෙක මව්කිරි පෙවීමටත් මන්ත්‍රීවරියන්ට අවසරය ලබා දෙමින් පසුගිය වසරේදී නව නීති සම්මත විය.

පසුගිය ජනවාරියේ දී ස්පාඤ්ඤ මන්ත්‍රීවරියක වන කැරොලිනා බෙස්කන්සා පාර්ලිමේන්තු සැසියක් අතරතුර සිය දරුවාට මව්කිරි පෙවීම විවේචනයට ලක්වී තිබුණි.

ලොලැන්දා පීනේයිදා මන්ත්‍රීවරිය ද වසර 2012දී සිය බිළිඳු දරුවා සමඟ ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පැමිණියාය.

මන්ත්‍රීවරියක, අලුත උපන් දරුවෙකු සමඟ පාර්ලිමේන්තු සැසිවාරයකට අසුන් ගෙන සිටින ආකාරය පළමුවරට ඡායරූපගත කර තිබුණේ 2010 වසරේදී ය.

ඒ ඉතාලි ජාතික ලීචා රොන්සුල්ලි මන්ත්‍රීවරිය සිය දරුවා සමඟ යුරෝපා පාර්ලිමේන්තුවේ අසුන්ගත් අවස්ථාව යි.

එවකට ඇගේ දරුවාගේ වයස සති හයකි.