ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සමලිංගික කාන්තාවකගේ අපරාජිත ප්‍රේමය
ඊජිප්තුවේ උපන් ශාසා ඉස්මයිල් ලන්ඩනයේ ජීවත්වූයේ ඇයගේ පෙම්වතිය වන ස්පාඤ්ඤ ජාතික ස්පැනියාර්ඩ් රිකෝ සමඟ ය.
ලන්ඩනයේ අනෙකුත් සමලිංගික කාන්තාවන් මෙන්ම ස්පැනියාර්ඩ් සහ ශාසා ද සාමාන්‍ය පරිදි දිවි ගෙවූ පෙම් යුවළකි.
ඩුබායි හි ජීවත්වන ශාසාගේ පියාගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව දෙදෙනාම ඩුබායි බලා යාම සඳහා ලහිලහියේ සුදානම් විය.
නමුත් මෙය සුන්දර සංචාරයක් නොවන බව තරුණියන් දෙදෙනාට වැටහෙන්නට පටන් ගත්තේ ඩුබායි මත පය තැබූ මොහොතේ පටන් ය.
මෙම සමලිංගික පෙම් යුවළට මරණ තර්ජන එල්ල විය.
අවසානයේ ස්පැනියාර්ඩ් කැටුව ශාසා හොර රහසේ පියාගේ නිවසින් පලායන්නේ දිවි බේරා ගැනීම සඳහාය. නමුත් ගමනාන්තය වූයේ තුර්කියේ බන්ධනාගාරයකි.
ශාසා විස්තර කළ පරිදි ඇයගේ සංචාරයේ සාරාංශය එසේ විය.
"අමානුෂික සහ පිළිකුල් සහගත"
කෙසේ හෝ ස්පැනියාර්ඩ්ට තම පෙම්වතිය සමඟ නැවත ස්පාඤ්ඤය බලා පැමිණීමට වාසනාව උදා වූ අතර ඇය සියල්ල මාධ්‍යයට හෙළි කළාය.
"මම ඇත්තටම අපේ කතාව ලොවට කියන්න තීරණය කළේ මර්දනය යටතේ ජීවත්වන සමලිංගික කාන්තාවන්ට එය උදව්වක් වෙයි කියල හිතුන නිසා" යැයි ස්පැනියාර්ඩ් රිකෝ ප්‍රකාශ කළාය.
ශාසා කියා සිටියේ තුර්කි සිර මැදිරියේ ගතකළ කෙටි කාලය තුළ ලද "අනපේක්ෂිත" අත්දැකීම් "අමානුෂික සහ පිළිකුල් සහගත" බවය.
ශාසාගේ පියා දුරකතනයෙන් දන්වා ඇත්තේ ඇගේ මව රෝගාතුරව සිටින බවය.
"ඒත් ඒක බොරුවක්" යැයි පැවසූ ස්පැනියාර්ඩ් "එයා අප මරා දමන බවට තර්ජනය කළා. අප සමලිංගික කාන්තාවන් වීමේ වරදට සිරගත කළ හැකි බවට තර්ජනය කළා." යනුවෙන් ද ප්‍රකාශ කළාය.
අනතුරුව පවුලේ ඥාතීන් එක්වී, ශාසා කාමරයක් තුළ සිරකළ බවත් ඇය පැවසුවාය.
කෙසේ නමුත් එතැනින් පලායාමට මෙම පෙම් යුවළ සමත්විය. ගුවන්තොටුපළට පැමිණ ජෝර්ජියාව බලා පියාසර කළේ එතැනින් ලන්ඩනය බලා යාමට ගුවන් යානයකට ගොඩවීමේ අටියෙනි.
"ත්‍රස්තවාදයට සම්බන්ධ ලියවිල්ලක්"
නමුත් ජෝර්ජියාව දක්වා ලුහුබැඳ ආ ශාසාගේ පියා එහිදී ඇයගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටු ඉරා දැමුවේය.
අනතුරුව ජෝර්ජියානු බලධාරීන් මෙම තරුණියන් දෙදෙනා තුර්කි දේශසීමාව කරා ගෙනගොස් ඇති අතර තුර්කි බලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එහිදී යම් ලියවිල්ලකට තමන්ගෙන් අත්සන් ලබාගත් බවත් එය "ත්‍රස්තවාදයට සම්බන්ධ ලියවිල්ලක්" විය හැකි බවත් ස්පැනියාර්ඩ් පැවසුවාය.
ස්පාඤ්ඤයේ සිටින ඇයගේ ඥාතීන්ට සිද්ධිය සැළවීමත් සමඟ ඔවුහු ස්පාඤ්ඤ පොලිසියට දැනුම් දුන්හ.
අනතුරුව ස්පාඤ්ඤ විදේශ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මෙම තරුණියන් දෙදෙනා නිදහස් කරගෙන තිබේ.
"මම හිතුවේ නැහැ අපිට කවදාවත් ගෙදර එන්න පුළුවන් වෙයි කියල. ඔවුන් මාව නිදහස් කරන්න කැමති වුනා. නමුත් ශාසාව තියා ගන්නවා කිව්වා. මම කිව්වා ශාසා නැතිව මම යන්නෙ නැහැ කියල." ස්පැනියාර්ඩ් ප්‍රකාශ කළාය.
ස්පැනියාර්ඩ් සහ ශාසා මේවනවිට ස්පාඤ්ඤයේ සිටින්නේ දෙදෙනා විවාහ ගිවිසගැනීමේ බලාපොරොත්තුවෙනි.