ප්‍රියංකා චොප්රාගේ මේ ඇඳුමේ තේරුම දන්නවාද?

ජනප්‍රිය බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා පසුගියදා උත්සවයකට සැරසුණු අමුතුම ඇඳුමක් හාස්‍යයට, විවිධ අර්ථ දැක්වීම්වලට පමණක් නොව අපූරු අන්තර්ජාල නිර්මාණවලටද තුඩු දී තිබේ.

ජපන් ජාතික මෝස්‌තර නිර්මාණ ශිල්පී රෙයි කවකුබෝට (Rei Kawakubo) උපහාර දැක්වීම එදින සාදයේ ප්‍රධාන අරමුණ වූ අතර, ප්‍රියංකා චොප්රා එයට සහභාගි වූයේ රැල්ෆ් ලොරේන් (Ralph Lauren) සමාගම විසින් නිර්මාණය කරන ලද සිය උස මෙන් දෙගුණයක් පමණ දිගැති ගවුමකින් සැරසීය.

එයින් සැරසී පඩි පෙළ නැග ඇය උත්සවය පැවති ශාලාවට ඇතුළු වූ මොහොතේ පටන් ඇයගේ ඇඳුම මෝස්තර නිර්මාණ ලෝකයේ මහත් ප්‍රසාදයට ලක්විය.

එවක් පටන් ප්‍රියංකාගේ දිගු ගවුම පිළිබඳව ට්විටර් ජාලය ඔස්සේ 16,000 කට වැඩි ට්විටර් පණිවුඩ හුවමාරු වී තිබේ.

ප්‍රියංකා චොප්රාගේ දිගු ගවුම "පිරිසිදු කිරීම" සඳහා ඉතාමත්ම කාර්යක්ෂම ක්‍රමවේදයක් බැවින් එය අගමැති නරේන්ද්‍ර මෝදිගේ "පිරිසිදු ඉන්දියාව" වැඩපිළිවෙලට රුකුලක් බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හාස්‍යයෙන් අදහස් දක්වන බොහෝ දෙනාගේ මතය වී තිබුණි.

එබැවින් ප්‍රියංකා චොප්රා එම වැඩසටහනේ සන්නාම තානාපතිවරියක් ලෙසින් පත්කරන ලෙස සමහරු අගමැතිවරයාට යෝජනා කළහ.

එහෙත් එම ඇඳුමින් සැරසුණු ප්‍රියංකා කෙතරම් සුන්දර දැයි ලොව පුරාම මෝස්‌තර නිර්මාණ ශිල්පීන්ගේ සහ මෝස්තර විචාරකයන්ගේ ප්‍රබල ප්‍රසාදයට බඳුන් වී තිබිණ.