ෂි ජින්පින් 'හොඳ මිනිහෙක්' - ඩොනල්ඩ් ට්‍රම්ප්

'මම ඔහු ගැන දන්නවා'ජනාධිපති ට්‍රම්ප් චීන ජනාධිපතිවරයා ගැන සඳහන් කරයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මම ඔහු ගැන දන්නවා'ජනාධිපති ට්‍රම්ප් චීන ජනාධිපතිවරයා ගැන සඳහන් කරයි

උතුරු කොරියාව පාලනය කර ගැනීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂි ජින්පින් ගනිමින් ඇති ක්‍රියාමාර්ගය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අගය කරනු ලැබ ඇත.

රොයිටර් පුවත් සේවයට ප්‍රකාශයක් කරන ඇමෙරිකානු ජනාධිපතිවරයා, චීන ජනාධිපතිවරයා විසින් උතුරු කොරියානු අර්බුදය පාලනය ගන්නා හැඩක් පෙනී ගියත් 'එය දුෂ්කර එසේම මහා අර්බුදයක්'("difficult" and a "major, major conflict") වී ඇති බව කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප් මෙවැනි යොවුන් වියක පසු වෙද්දී උතුරු කොරියාවේ නායකත්වයට පත්වීම කිම් ජොන් උන්ට 'අතිශයින් දුෂ්කර කාර්යයක් වූ බවත් සඳහන් කළේය.

'ඔහුට තවම වයස අවුරුදු විසි හතයි. තාත්තා මිය ගියාම ඔහුට පාලනය භාර ගන්න සිදු වුනා. ඒවගේ වයසක දී ඒක පහසු කාර්යයක් නොවෙයි' ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

'ඒත් මම ඔහුට සහතික දෙන්නේ නැහැ.මම බලාපොරොත්තු වෙනවා ඔහු විචාරශීලීව කටයුතු කරාවි කියල' ඇමෙරිකානු නායකයා අවධාරණය කළේය.

ආරක්ෂක මණ්ඩලය

උතුරු කොරියානු ප්‍රශ්නය සාකච්ඡාවට ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද සිකුරාදා (අප්‍රියෙල් 28)රැස් වීමට නියමිතයි.

තවත් මිසයිල් අත්හදා බැලීම් සිදු කළොත් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවන බව චීනය එක්සත් ජනපදයට දැනුම් දී ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් රෙක්ස් ටිලර්සන් පවසයි.

ජනාධිපති ට්‍රම්ප් රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡාවේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ට්‍රම්ප් රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡාවේ

පසුගිය ජනවාරි මාසයේ පදවියට භාරගත් විගස ප්‍රකාශයක් කළ ජනාධිපති ට්‍රම්ප්, උතුරු කොරියාව පාලනය කර ගැනීම සඳහා පියවර නොගන්නා බවට චීනයට චෝදනා කළ අතර එවැනි තත්වයක් යටතේ ඇමෙරිකාවට ඒකපාර්ශ්වීය පියවරක් ගැනීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් කර තිබුණි.

එහෙත් සිය ධවල මන්දිර කාර්යාලයේ දී (Oval Office) රොයිටර් පුවත් සේවය සමඟ පැවැත්වූ අලුත්ම දීර්ඝ සාකච්ඡාවේ දී අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප් ' ව්‍යාකූල තත්වයක් සහ මරණය දැකීමක් චීන ජනාධිපතිවරයාට නියත ලෙසම අවශ්‍ය නොකරන ' බව සඳහන් කළේය.

මේ මාසය මුලදී ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ෂි ජින්පින් මුණ ගැසුණි.

'ඔහු ඉතා හොඳ මිනිසෙක්. මම ඔහු ගැන හොඳින් දන්නවා' ජනාධිපති ට්‍රම්ප් චීන නායකයා පිළිබඳව සඳහන් කරයි.

'ඔහු චීනයට ආදරෙයි. ඔහු චීන ජනතාවට ආදරෙයි. මම දන්නවා- ඔහුට යමක් කරන්න පුළුවන් වේවි. සමහර විට ඔහුට බැරි වෙන්නත් පුළුවන්' ජනාධිපති ට්‍රම්ප් පවසයි.

තවදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා, උතුරු කොරියාවත් සමඟ උද්ගත වී ඇති බරපතළ අර්බුදය නියත ලෙසම අවසන් කර ගැනීමේ අවස්ථාවක් ඇති බවත් කියා සිටියේය.

තරුණ වියේ දී නායකත්වයට
ඡායාරූප ශීර්ෂ වැකිය, තරුණ වියේ දී නායකත්වයට

උතුරු කොරියාව පසුගිය මාස කීපය ඇතුළත මිසයිල අත්හදා බැලීම් කීපයක් සිදුකළ අතර සිය සයවැනි න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කරන බවට අනතුරු ඇඟවීමක් ද කර ඇත.