ආදිවාසීන්ගෙන් පොලිසියට ඊතල ප්‍රහාරයක්

බ්‍රසීලයේ ආදිවාසීහු එරට කැරලි මර්දන පොලිසිය සමඟ ගැටුමකට අවතීර්ණ වූහ.

අඟහරුවාදා (අප්‍රේල් 25) මෙම ගැටුම හටගත්තේ බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසිලියා නුවරදී ය.

තම ප්‍රජාවට අයත් ඉඩම් වගාවන්ට සහ වෙනත් අවශ්‍යතා සඳහා යෙදවීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා බ්‍රසීලයේ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ඉදිරිපිට ආදිවාසීහු දහස් ගණනක් රැස්වූහ.

ආදිවාසී පිරිසක් මාර්ග බාධකය වෙත ළඟාවීමට උත්සාහ කළ බැවින් තමන්ට බලය යෙදීමට සිදුවූ බව බ්‍රසීල පොලිසිය පවසයි.

ආදිවාසීන් විසින් පොලිස් භටයන්ට එල්ලකරන ලද ඊතල ප්‍රහාරයෙන් කිසිවෙකුට තුවාල සිදු නොවූ බව බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කළේය.

ඉඩම් ප්‍රශ්නය නිසා ඇතිවූ ගැටුම්වලින් පසුගිය වසරේ පමණක් ආදිවාසීන් 13දෙනෙකු මරණයට පත්වූ බව ක්‍රියාධරයෝ පවසති.