අභ්‍යවකාශයේ වාර්තා තබන කාන්තාව

ආචාර්ය පෙගී විට්සන් - අභ්‍යවකාශයේ වැඩිම වතාවක් පියමන්කළ කාන්තාව
ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය පෙගී විට්සන් - අභ්‍යවකාශයේ වැඩිම වතාවක් පියමන්කළ කාන්තාව

අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් ගතකළ එක්සත් ජනපද ගගනගාමියා බවට පත්වෙමින් ආචාර්ය පෙගී විට්සන් නව වාර්තාවක් තැබුවාය.

මේ වනවිට අභ්‍යවකාශයේ වැඩිම වතාවක් පියමන්කළ කාන්තාව හැටියට ලෝක වාර්තාව උසුලනු ලබන්නේද ආචාර්ය විට්සන් විසිනි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) අණදෙන නිලධාරිනිය ලෙස දෙවතාවක් ම කටයුතුකළ එකම කාන්තාව වන්නේ ද ආචාර්ය පෙගී විට්සන් ය.

අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් ගතකළ එක්සත් ජනපද ගගනගාමියා බවට ඇය පත්වුයේ, දින 534ක් අභ්‍යවකාශයේ රැදී සිටි ජෙෆ් විලියම්ස් ගේ වාර්තාව බිඳ දමමිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉවන්කා

ඇයට සුබපතමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ට්විටර් පණිවිඩයක් නිකුත්කර තිබුණි

ඡායාරූප මූලාශ්‍රය, TWITTER

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇයට සුබපතමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ට්විටර් පණිවිඩයක් නිකුත්කර තිබුණි

ඇයට සුබ පැතීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දියණිය ඉවන්කා දුරකතනයෙන් සම්බන්ධ වෙනු ඇති බවට විශ්වාස කෙරේ.

නාසා ගගනගාමියෙකු වන ශෝන් කිම්බ්‍රා මේ මස මුලදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ධුරය ආචාර්ය විට්සන් ට පැවරුවේය.

ඇයට එම රාජකාරිය පවරමින් ශෝන් කිම්බ්‍රා කියා සිටියේ "මේ මොහොතේ ඇය තවත් වාර්තාවකට හිමිකම් කියාවි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරිනිය ලෙස දෙවතාමක් ම කටයුතුකළ එකම කාන්තාව බවට ඇය පත්වෙනවා. පෙගී යටතේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සුරක්‍ෂිතයි" යනුවෙනි.

වයස්ගතම කාන්තාව

අජටාකාශයේ පියමන් කරමින්

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/PEGGY WHITSON

ඡායාරූප ශීර්ෂ වැකිය, අජටාකාශයේ පියමන් කරමින්

57 හැවිරිදි ඇය, අජටාකාශගත වූ වයස්ගත ම කාන්තාව ලෙසද වාර්තාගත වනු ඇත.

ආචාර්ය පෙගී විට්සන් ගගනගාමියෙකු වශයෙන් තොරාගනු ලැබුනේ 1996දී ය.

ඊට පෙර ඇය නාසා ආයතනය මෙහෙයවූ වෛද්‍ය පර්යේෂණ සඳහා විවිධ තනතුරු දැරුවාය.

1996 දී ගගනගාමියෙකු ලෙස තේරී පත්වුණු ඇය මුලින්ම අභ්‍යවකාශය තරණය කළේ 2002 වසරේදී ය.

2007 වසරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) අණදෙන නිලධාරිනිය ලෙස කටයුතු කිරීමට මුල්වරට ඇයට අවස්ථාව උදාවිය.

ආචාර්ය පෙගී විට්සන් ජෛව රසායන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිධාරිනියක් වන්නීය.