'කුක්' එද්දී නවසීලන්ත වැසියෝ පළා යති

පරම්පරා ගණනාවකට පසු එතැයි අපේක්ෂා කෙරෙන දරුණුම කුණාටුව හමුවේ නවසීලන්තයේ උතුරු දිවයිනට දැඩි වැසි ඇද හැලෙමින් පවතී.

අයහපත් කාලගුණ තත්වය පිළිබඳව කෙරුණු අනතුරු ඇඟවීම් හමුවේ උතුරු වෙරළ තීරයේ නගරවලින් ජනතාව ඉවත් වෙමින් සිටිති.

නවසීලන්තයේ වේලාවෙන් රාත්‍රී 7 ට පමණ ප්ලෙන්ටි බොක්ක හරහා රට තුළට ප්‍රවේශ වේ යැයි සැළකුණු කුණාටුව සිකුරාදා (අප්‍රේල් 14) අලුයම දකුණු දිවයින් වෙත ඇදී යනු ඇතැයි විශ්වාස කෙරේ.

නවසීලන්තය මේ තත්වයට මුහුණ දෙන්නේ රටේ ඇතැම් ප්‍රදේශ පසුගිය සතියේ ඇතිවූ 'ඩෙබී' සුළි සුළඟ හේතුවෙන් ජලගැලීම්වලට ලක්ව තිබියදීය.

උතුරු දිවයිනේ ඇතැම් කොටස්වල මේ වනවිටත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට ඇති අතර නායයාම් ද වාර්තාවී ඇති කොරෝමන්ඩෙල් හි පහත් බිම් ආශ්‍රිතව සිටින ජනතාවට වහාම ඉවත්ව යන ලෙස දැනුම් දී ඇත.

හදිසි අවස්ථා සඳහා සීරුවෙන්

ජලගැලීම්වලට මුහුණ දුන් ඕක්ලන්ඩ්වාසීන් හදිසි අවස්ථා සඳහා අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය රැස් කරන අතරේදී උතුරු දිවයිනේ පාසල් මෙන්ම ව්‍යාපාර ආයතන ද කල්තියා වසා දැමුණි.

නවසීලන්ත හමුදාව මෙන්ම හදිසි අවස්ථා සහන කණ්ඩායම් ද සීරුවෙන් තබා ඇත.

රට පුරා ගුවන් ගමන්වල ප්‍රමාදකිරීම් හෝ අවලංගු කිරීම් සිදුවී ඇති අතර නවසීලන්ත ජාතික ගුවන් සේවයවන 'එයාර් නිව්සීලන්ඩ්' උතුරු දිවයිනේ ටෝරන්ගා ගුවන් තොටුපොළේ සිට මෙහෙයවන සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇත.

කනස්සල්ල

පසුගිය ඉරිදා වනුවාටු දූපත් ආශ්‍රිතව ජනනය වූ සුළි සුළඟ නිව් කැලිඩෝනියා දෙසට ඇදී ගියේ එම ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් මෙන්ම සුළං ද කැටිවය.

විදුලිය හා ජල සැපයීම විසන්ධි වූ නිව් කැලිඩෝනියාහිදී එක පුද්ගලයකු මිය ගියේය.

නවසීලන්ත කාලගුණ නිලධාරීන් පෙන්වාදෙන පරිදි 'කුක්' සුළි සුළඟ 1968න් පසු රටට බලපාන දරුණුම සුළි සුළඟ විය හැකි බවය.

දැනටමත් දැඩි වර්ෂාපතනය හමුවේ පීඩාවට පත්ව සිටින ප්‍රදේශවලට කුක් සුළි සුළඟ කවර ආකාරයේ බලපෑමක් අත්කරනු ඇත්දැයි යන්න පිළිබඳව නවසීලන්ත බලධාරීහු කනස්සල්ල පළකරති.