තායිවානයේ බලු සහ බළල් මස් තහනම්

මාංශ පරිභෝජනය සඳහා සුනඛයන් සහ බළලුන් ඝාතනය කිරීම තහනම් කරමින් තායිවානයේ පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි.

එම නීතිය කඩකළ අයෙකු විශාල දඩයකට හෝ දෙවසරක සිර දඬුවමකට යටත් වනු ඇති අතර ඔහුගේ නම සහ ඡායාරූපය ප්‍රසිද්ධ කෙරෙනු ඇත.

මාංශ සඳහා සුනඛයන් සහ බළලුන් මැරීම තහනම් කරමින් නව පනත සම්මත කරන ලද්දේ තායිවානයේ සත්ව ආරක්ෂණ නීති තරකිරීම සඳහාය.

මෙවැනි නීතියක් ආසියාවේ සම්මත වූ ප්‍රථම අවස්ථාව මෙය බවට සැළකේ.

නමුත් සුනඛයන් සහ බළලුන් වැනි සුරතලයට ඇතිකරන සතුන්ගේ මස් සහ ලෝම වෙළඳාම තහනම් කරමින් වසර 2001 සිට තායිවානයේ නීති සම්මතවී තිබුණි.

බලු සහ බළල් මස් පරිභෝජනය තායිවාන ජනතාව අතර ජනප්‍රියව පැවති නමුත් මේ වනවිට එම සතුන් පවුලේ සුරතලුන් බවට පත්වෙමින් තිබේ.

ආසියානු කලාපය

මාංශ පරිභෝජනය සඳහා සුනඛයන් සහ බළලුන් ඝාතනය කිරීමට එරෙහිව ආසියානු කලාපයේ අනෙකුත් රටවලින්ද මෑතක සිට විරෝධතා මතුවී තිබුණි.

චීනය, දකුණු කොරියාව ඇතුළු වෙනත් රටවල බලු මස් ආහාරයට ගැනීමේ සම්ප්‍රදාය වසර පන්සීයක් පමණ ඈතට දිව යන්නකි.

බලු මස් ආහාරයට ගැනීමෙන් ග්‍රීෂ්ම මාසවල පවතින උෂ්ණත්වයෙන් ගැලවී සිටීමට හැකි වනු ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරති.

සනීපාරක්ෂක නොවන තත්වයන් යටතේ ප්‍රවාහනය කරන මරා දැමීමට නියමිත සුනඛයන්ට ආහාර සහ ජලය ලබා නොදෙන බවත් ඒ හේතුවෙන් පහසුවෙන් රෝග පැතිර යා හැකි බවත් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ පවසති.