මුහුදු කොල්ලකරුවන්ට හසුවූ තවත් නැවක් බේරා ගනිති

ඒඩන් සමුද්‍රවංකයේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවූ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ දහනමදෙනා නිදහස්කරගෙන තිබේ.

යේමනයේ මුහුදු තීරයෙන් සැතපුම් 75ක් පමණ එපිටින් යාත්‍රාකරමින් තිබූ මෙම නෞකාවට මුහුදු කොල්ලකරුවන් ගොඩවූ බව සමුද්‍රීය බලධාරීන්ට සෙනසුරාදා (අප්‍රේල් 08) දැනගන්නට ලැබුණි.

මෙම පිරිස බේරාගැනීම සඳහා චීන, ඉන්දීය සහ පකිස්තානු නාවිකයන්ගෙන් සමන්විත වෙනත් නෞකා තුනක් සිය ගමන් මග වෙනස්කොට කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී තිබුණු නෞකාව දෙසට යාත්‍රාකර තිබේ.

වේගයෙන් හඹාගොස්

පැහැර ගැනීමට ලක්වූ නෞකාව ඒ වනවිට සෝමාලියාව දෙසට යාත්‍රා කරමින් තිබුණු අතර වේගයෙන් හඹාගොස් එම නෞකාවට චීන නාවික පිරිස ඇතුළු විය.

එහි සිටි කාර්ය මණ්ඩලය බේරා ගත් අතර සෝමාලියානු කොල්ලකරුවන් පලාගොස් තිබුණි.

වසර පහකට පසුව දින කිහිපයක් තුළ දී සෝමාලියානු කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලද තුන්වැනි නෞකාව මෙය විය.

ජ්‍යාත්‍යන්තර හමුදා මුර සංචාර මෙන්ම ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ සහයෝගයේ එක් ප්‍රතිපලයක් ලෙස, කප්පම් ගැනීමේ මාර්ගයක් වශයෙන් පැවති සෝමාලි මුහුදු තීරයේ කොල්ලකෑම් පසුගිය වසර කිහිපය තුළදී සැළකිය යුතු ලෙස අඩුවෙමින් තිබිණි.

මුහුදු කොල්ලකෑම් උත්සන්නව පැවති 2011 වසරේදී එවැනි පහරදීම් 237ක් වාර්තාවූ අතර වාර්ෂික මුහුදු කොල්ලකාම්වල අගය ඩොලර් බිලියන 8 දක්වා ඉහළ ගියේය.