ස්කොට්ලන්තය : වෙන්වීමේ මත විමසීමට ප්‍රථම ඇමතිනිය බලය ඉල්ලයි

නිකොලා ස්ටර්ජන් ලිපියට අත්සන් තබමින්

ඡායාරූප මූලාශ්‍රය, SCOTTISH GOVERNMENT

ඡායාරූප ශීර්ෂ වැකිය, නිකොලා ස්ටර්ජන් ලිපියට අත්සන් තබමින්

ස්කොට්ලන්තයට නිදහස ළඟාකර ගැනීම වෙනුවෙන් යළිත් ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා බලය ඉල්ලා සිටීමේ ලිපියට ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍යවරිය නිකොලා ස්ටර්ජන් අත්සන් තැබුවාය.

ස්ටර්ජන්ගේ තීරණයට අනුබලය දෙමින් පසුගිය අඟහරුවාදා (මාර්තු 28) ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඡන්ද 69 ට 59ක් වශයෙන් තවත් ජනමත විචාරණයක් ඉල්ලීමට පක්ෂ විය.

"වෙලාව ඇවිත් නැහැ"

BREXIT යනුවෙන් හැඳින්වෙන යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ වැඩපිළිවෙල සඳහා වූ ඡන්දය හමුවේ හමුවේ ස්කොට්ලන්තය කවර පියවර අනුගමනය කළ යුතුදැයි තීරණය කළ යුතු බවට ස්ටර්ජන් තර්ක කළද එක්සත් රාජධානි ආණ්ඩුව පවසා තිබුනේ BREXIT වැඩපිළිවෙල සම්පුර්ණවන තෙක් ජනමත විචාරණයක් නොපැවැත්විය යුතු බවය.

පසුගිය බදාදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී නිකොලා ස්ටර්ජන් සමග සාකච්ඡා කළ අගමැතිනි තෙරේසා මේ යළි යළිත් අවධාරණය කළේ ද ජනමත විචාරණයකට 'සුදුසු වෙලාව නොවේ' යන්නය.

අගමැතිනි තෙරේසා මේ සහ ප්‍රථම ඇමතිනි නිකොලා ස්ටර්ජන් අතර ගලාස්ගොව්හි පැවති හමුව

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැතිනි තෙරේසා මේ සහ ප්‍රථම ඇමතිනි නිකොලා ස්ටර්ජන් අතර ගලාස්ගෝ පැවති හමුව

සරල ඉරියව්වක බරපතල බව

වැඩපිළිවෙල ඇරඹීමේ අරමුණින්, ලිස්බන් සම්මුතියේ '50 වෙනි වගන්තිය' ක්‍රියාවට නැගීම සඳහා වූ නිල ලිපියට අගමැතිනි මේ අත්සන් තැබූ ආකාරය හා සංසන්දනය කිරීමේදී නිකොලා ස්ටර්ජන් ජනමත විචාරණය ඉල්ලීමේ ලිපියට අත්සන් තැබීමේ අවස්ථාව දැක්වෙන ඡායාරුපය බැලු බැල්මට තරමක වෙනස් බව පැහැදිලිය.

බොහෝ නිදහස් ඉරියව්වකින් සොෆාවක් මතට බරවී නිකොලා ස්ටර්ජන් ලිපියට අත්සන් තැබීමේ සරල බවක් පෙන්වුවද, එම ලිපියේ අන්තර්ගතය සරල නොවේ.

නිදහස් ඉරියව්වකින් ලිපියට අත්සන් තබන නිකොලා ස්ටර්ජන්

ඡායාරූප මූලාශ්‍රය, SCOTTISH GOVERNMENT

ඡායාරූප ශීර්ෂ වැකිය, නිදහස් ඉරියව්වකින් ලිපියට අත්සන් තබන නිකොලා ස්ටර්ජන්
'50 වෙනි වගන්තිය' ක්‍රියාවට නගන බව යුරෝපා සංගමයට දැන්වීමේ ලිපියට අගමැතිනි තෙරේසා මේ අත්සන් තබමින්

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, '50 වෙනි වගන්තිය' ක්‍රියාවට නගන බව යුරෝපා සංගමයට දැන්වීමේ ලිපියට අගමැතිනි තෙරේසා මේ අත්සන් තබමින්

ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව පසුගියදා තමන්ට සහය පළකිරීමත් සමග තවත් ජනමත විචාරණයක් සඳහා බලය ඉල්ලීමේ වරමක් තමන් සතු බව ප්‍රථම ඇමතිනිය සිය ලිපියේ සඳහන් කරන්නීය.

එම ලිපිය සිකුරාදා (මාර්තු 31) දිනය තුළදී ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසට ලැබීමට නියමිතය.

ලබන වසරේ සරත් ඍතුව හා 2019 වසරේ වසන්ත ඍතුව අතරදී ජනමත විචාරණය පැවැත්වීමට අපේක්ෂා කරන නමුදු කාලය පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි බවට ද නිකොලා ස්ටර්ජන් ඇගවූවාය.

අපේක්ෂිත පරිදි සිය ඉල්ලීම ප්‍රතික්ෂේප වුවහොත්, පාස්කු නිවාඩුවෙන් අනතුරුව ස්කොට්ලන්ත පාර්ලිමේතුව රැස්වූ පසු සිය රජය ඊළඟ පියවරට එළඹෙන බව ද ඇය සඳන් කළාය.

එක්සත් රාජධානියෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් විය යුතු දැයි විමසමින් 2014 වසරේ ස්කොට්ලන්තයේ පැවති ජනමත විචාරණය 55% ට 45% ක් වශයෙන් පරාජයට පත්විය.

එහෙත් නිකොලා ස්ටර්ජන්ගේ විශ්වාසය වී තිබෙන්නේ යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා එක්සත් රාජධානිය පැවැත්වූ ඡන්ද විමසීමත් සමග තත්වය වෙනස් වී ඇති බැවින් ජනතාවගෙන් එම ප්‍රශ්නය යළි විමසිය යුතු බවය.