රාජ්‍ය නායකයෙකුගේ කර මත යා හැක්කේ කාටද?

උතුරු කොරියාව පසුගිය සතියේ අලුතින් රොකට් එන්ජින් අත්හදා බැලීමක් කළ අතර සුපුරුදු පරිදි ඒ සඳහා රජයේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා දුණි.

ඒ සමග එළිදුටු එරට නායක කිම් ජොන්ග් අන් ගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබේ.

රොකට් එන්ජින් අත්හදා බැලීම සාර්ථකව සිදු කළ බව පැවසෙන අතර උතුරු කොරියානු නායකයා විසින් එය හඳුන්වනු ලැබුවේ සිය රටේ රොකට් තාක්ෂණ ක්ෂේත්‍රයේ 'නව උපතක්' ලෙසය.

නායක කිම් ජොන්ග් අන් දුරින් සිට මිසයිලය දෙස දෑස් යොමා සිටින ආකාරය දැක්වෙන ඡායාරූප එරට රජයේ මාධ්‍ය විසින් නිකුත් කරනු ලැබීය.

සිනහවකින් මුව සරසාගත් කිම් ජොන්ග් අන්, ප්‍රීතියට පත් හමුදා නිලධාරීන්ට අතට අත දෙන ආකාරය මෙන්ම වැඩිහිටි පුද්ගලයෙකු සිය කර මත ගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ඒ අතර විය.

කිම් ජොන්ග් අන් වැන්නෙකු මතට ගොඩ වන්නා කවරෙක්නම් විය හැකිද? ඊට හේතුව කුමක් විය හැකිද?

මේ කවුද?

ඡායාරූපයේ දැක්වෙන අභිරහස් පුද්ගලයා උතුරු කොරියාවේ දේශපාලන වේදිකාවට නුහුරු චරිතයක් බව නිරීක්ෂකයෝ පවසති.

ඔහු රොකට් එන්ජින් අත්හදා බැලීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යයක් ඉටු කළ පුද්ගලයෙකු මෙන්ම ඔහු මීට ඉහතදීත් නායක කිම් ජොන්ග් අන් සමග කටයුතු කර ඇති බව විශ්වාස කෙරේ.

දේශපාලන නිරීක්ෂක මයිකල් මැඩන් කියා සිටියේ එම පුද්ගලයා ඇඳ සිටින නිල ඇඳුමේ ලාංජනවලට අනුව ඔහු කොරියානු මහජන හමුදාවේ මූලෝපාය අංශයේ මැද පෙළ නිලධාරියෙකු බව පෙන්නුම් කරන බවය.

ප්‍රහාර සඳහා යොදා ගනු ලබන මිසයිල බලකාවලට නායකත්වය දෙනු ලබන්නේ ඉහත කී මූලෝපාය අංශයෙනි.

ප්‍රචාරණ තැතක්

කෙසේ නමුත් අදාළ ඡායාරූපය, එරට ජනතාව අතර නායක කිම් ජොන්ග් අන් ගේ ප්‍රතිරූපය ඔපමට්ටම් කිරීමට ගනු ලැබූ උත්සාහයක් විය හැකි බව ඇතැම් නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ.

ඔහු විනෝදකාමී ජනතාවගේ පුද්ගලයෙකු බව එත්තු ගැන්වීම සඳහා පෙර සැලසුමකට අනුව එම ඡායාරූපය ගනු ලැබ ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ඇමරිකානු - කොරියානු ආයතනයේ මයිකල් මැඩන් පවසයි.

එමෙන්ම නායක කිම් ජොන්ග් අන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවත් ඡායාරූපයෙන් පිළිබිඹු වේ.

උතුරු කොරියානු නායකයා කොර ගසමින් සැරයැටියක් අතැතිව ගමන් කරන ආකාරය දැක්වෙන දර්ශන 2014 වසරේ දී පළ වූ අතර නැවතත් ඔහු කොර ගසමින් ඇවිදින ආකාරය 2016 වසරේ දී දැක ගත හැකි විය.