ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලන්ඩන් ප්‍රහාරකයා හඳුනා ගැනේ
බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් හිදී ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා ඛලිඩ් මසුඩ් නැමැත්තෙකු බව හඳුනාගෙන ඇත.
ඔහුද සිද්ධියේදී මියගිය අතර මෑත පොලිස් පරීක්ෂණ කිසිවකට ඔහු අදාළ නොවුනද, පෙර සිදුවීම් ගණනාවකට ම වැරදිකරු වූවෙකි.
52 හැවිරිදි වූ මසුඩ් බටහිර මිඩ්ලන්ඩ් ප්‍රදේශයේ විසූ බව සැළකේ.
'ඉස්ලාමිය රාජ්‍ය' සංවිධානය වගකීම භාරගත් එම ප්‍රහාරයේදී ප්‍රහාරකයාට අමතරව පොලිස් නිලධාරියෙක්, පාසල් ගුරුවරියක් සහ ඇමෙරිකානු සංචාරකයෙක් ද මිය ගියහ.
ප්‍රහාරයෙන් අනතුරුව ලන්ඩන් මෙන්ම බර්මිංහැම් ප්‍රදේශවලින් අට දෙනෙකු අඩංගුවට ගැනිණි.
වෙස්ට්මින්ස්ටර් පාලම මතදී පදිකයන් අනතුරට ලක්කරමින් මෝටර් රියක් පදවාගෙන ගිය මසුඩ් එය පාර්ලිමේන්තුවේ වටේ ගැටුණු පසුව පාර්ලිමේන්තු භුමිය තුළට දිවගියේ පිහියක් සහිතවය.
එහිදී පාමර් නම්වූ පොලිස් නිලධාරියාට පිහි පහර එල්ල කළ මසුඩ් පොලිස් වෙඩි පහරින් මිය ගියේය.
මෙවැනි ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ඔහු සතු අරමුණක් තිබුනේද යන්න පිළිබඳව කල් වේලා ඇතිව ඔත්තු ලැබී නොතිබූ බව පොලිසිය පවසයි.
එහෙත් පීඩාකාරී අවි සතුව තබා ගැනීම සහ මහජන සාමය කඩ කිරීම යනාදී චෝදනාවන්ට වරදකරු වීම සම්බන්ධයෙන් පොලිසිය ඔහු පිළිබඳව දැන සිටියේය.
ඔහු පළමුවරට වරදකරුවකු වූයේ, 1983 නොවැම්බර් මසදී සාපරාධී හානියක් හේතුවෙන්වන අතර අවසන් වරට වරදකරුවකු වුයේ 2003 දෙසැම්බර් මාසයේදී පිහියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙනි.
කිසිදු ත්‍රස්තවාදී වරදක් සම්බන්ධයෙන් ඔහු මීට පෙර වරදකරු වී නොතිබිණි.
බීබීසී වෙත වාර්තාවූ අන්දමට මසුඩ් ප්‍රහාරයට යොදාගත් වාහනය කුලියට ගැනීමේදී පවසා ඇත්තේ තමා ගුරුවරයකු බවය.