බීබීසී මාධ්‍යවේදීන්ට චීනයේ දී ප්‍රහාරයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, China congress: BBC team forced to sign confession

මධ්‍යම චීනයේ හුනාන් (Hunan) පළාතේ ගම්මානයක කාන්තාවක් සම්බන්ධ කර ගනිමින් බේජිං අගනුවරට ගොස් ඇය සමග රූපවාහිනී වැඩසටහනක් පටිගත කිරීමට සැලසුම් කළ බීබීසී මාධ්‍යවේදීන් කණ්ඩායමකට ඔවුන්ගේ ජීවිතයේ කිසිදාක මුහුණදීමට සිදුනොවූ අත්දැකීමකට මුහුණදීමට සිදුවිය.

සාකච්ඡාව සඳහා මාධ්‍යවේදීන් බලාපොරොත්තු වූ කාන්තාව ඔවුන්ට මුණ නොගැසුණ අතර ඒ වෙනුවට චීන පාලනය තුළ බලය පාවිච්චි කෙරෙන ආකාරය ඔවුන්ට දැක ගැනීමට ලැබුණි.

චීන ආණ්ඩුවට දුක්ගැනවිලි ලිඛිතව ඉදිරිපත් කරන්නන් එරට බලධාරීන් විසින් හඳුන්වනු ලබන්නේ 'පෙත්සම්කරුවන්' හැටියටයි.

'පෙත්සම්කරුවන්'

යැන්ග් ලිංගුආ (Yang Linghua) චීන බලධාරීන්ට අනුව 'පෙත්සම්කාරියකි'.

හුනාන් (Hunan) පළාතේ කාන්තාවක් වන ඇයගේ සහෝදරියක් බීබීසිය විසින් මෙයින් වසර තුනකට පෙර සාකච්ඡාවකට සහභාගී කරගෙන තිබුණි.

යැන්ග් ලිංගුආ (Yang Linghua) චීන බලධාරීන්ට අනුව 'පෙත්සම්කාරියකි'.
ඡායාරූප ශීර්ෂ වැකිය, යැන්ග් ලිංගුආ (Yang Linghua) චීන බලධාරීන්ට අනුව 'පෙත්සම්කාරියකි'.

ඔවුන් සහ ඔවුන්ගේ පියා සතුව තිබුන ඉඩමක් පැහැර ගැනීමක් පිළිබඳව පෙත්සමක් ඉරිදා (මාර්තු 05) ආරම්භවන චීන ජාතික මහජන කොන්ග්‍රස් මණ්ඩලයේ සැසිවාරය අතරවාරයේ භාරදීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය.

චීනයේ ජාතික මහජන කොන්ග්‍රසයේ සැසිවාර පැවැත්වෙන කාලයේ දී රටේ විවිධ පළාත් වල සිට සිය පැමිණිලි ඉදිරිපත් කිරීමට උත්සාහ කරන ගම්වැසියන් බේජිං අගනුවරට පැමිණීම ඒ ඒ පළාත් වල ප්‍රාදේශීය බලධාරීන් විසින් වලක්වනු ලබන බවට බීබීසියට තොරතුරු හෙළි විය.

පහර කෑමට ගොදුරු වූ මාධ්‍යවේදීන් ආපසු හැරී එද්දී විස්සක පමණ කණ්ඩායමක් ඔවුන් ලුහුබැඳ ඔවුන්ගේ මෝටර රථය වැටලූහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, පහර කෑමට ගොදුරු වූ මාධ්‍යවේදීන් ආපසු හැරී එද්දී විස්සක පමණ කණ්ඩායමක් ඔවුන් ලුහුබැඳ ඔවුන්ගේ මෝටර රථය වැටලූහ.

දුම්රිය ගමන් තහනම්

ප්‍රාදේශීය බලධාරීන් එවැනි පෙත්සම් ඉදිරිපත් කළ හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන වැසියන්ට බේජිං දක්වා පැමිණෙන දුම්රිය ගමන් තහනම් කරන අතර බේජිං නුවර පෙත්සම් කාර්යාලය ඉදිරිපිට ද රැකවල් ලා සිටින බව එහි ගිය බීබීසී කණ්ඩායම පෙන්වා දෙයි.

යැන්ග් ලිංගුආ ජීවත් වන ගමට ඇතුල් වූ බීබීසී මාධ්‍යවේදීන් ඇයගේ නිවෙස කරා ගමන් ගන්නා විට මිනිසුන් විශාල පිරිසක් එම නිවසට ඇතුළු වීම අවහිර කරමින් සිටි අතර ඔවුහු බීබීසී කාර්යමණ්ඩලයට පහර දී ඔවුන්ගේ සියලු කැමරා සුනු විසුනු කර දැමූහ.

පහර කෑමට ගොදුරු වූ මාධ්‍යවේදීන්

පහර කෑමට ගොදුරු වූ මාධ්‍යවේදීන් ආපසු හැරී එද්දී විස්සක පමණ කණ්ඩායමක් ඔවුන් ලුහුබැඳ ඔවුන්ගේ මෝටර රථය වැටලූහ.

පාපොච්චාරණයකට බලෙන් අත්සන්

නිල ඇඳුමෙන් සැරසුන පොලිස් නිලධාරීන් ප්‍රදේශයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් දෙදෙනෙකුද ඔවුන් අතර සිටි අතර තර්ජන හමුවේ පටිගත කරන ලද රුපවාහිනී දර්ශන මකා දැමීමටත් පාපොච්චාරණයකට බලෙන් අත්සන් ගැනීමක් ද සිදු විය.

චීනයේ ජාතික මහජන කොන්ග්‍රසයේ සැසිවාර පැවැත්වෙන අතරතුර....
ඡායාරූප ශීර්ෂ වැකිය, චීනයේ ජාතික මහජන කොන්ග්‍රසයේ සැසිවාර පැවැත්වෙන අතරතුර....

බීබීසී විසින් වාර්තා කිරීමට උත්සාහ කරනු ලැබූ යැන්ග් ලිංගුආ ගේ අත්දැකීම් වලට සමාන සිදුවීම් වලට මුහුණ දෙන චීන ගම්වැසියන්ගේ පැමිණිලි කීපයකට ඇහුම්කන් දීමට චීන සංචාරය අතරතුර බීබීසී කණ්ඩායමට හැකිවිය.

ඒ අතර හැත්තෑවන වියේ පසු වූ චීන ජාතික කාන්තාවක් පවසා තිබෙන්නේ සිය සැමියා ඝාතනය කළ අපරාධකරුගේ සිර දඬුවම දීර්ඝ කරන ලෙස ඉල්ලමින් තමන් 1988 සිට පෙත්සමක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන නමුත් සෑම වසරකම ජාතික මහජන කොන්ග්‍රසයේ සැසිවාර කාලය තුළ ප්‍රාදේශීය බලධාරීන් තමා නිවාස අඩස්සියේ තබන බවය.

කෙසේ වෙතත් තවමත් සිය පැමිණිල්ල පළමු වරට ඉදිරිපත් කරන පෙත්සම් කරුවන්ට බේජිං නුවර කාර්යාලය වෙත ගොස් සිය පැමිණිල්ල භාර දීමේ හැකියාව ඇතත් එම තොරතුරු ප්‍රාදේශීය බලධාරීන්ට ලැබුණු පසු ඔවුන්ට විවිධ තාඩන පීඩනවලට මුහුණ දීමට සිදුවන බව ගම්වාසීහු පවසති.