ට්‍රම්ප් 'එක චීනයක්' ප්‍රතිපත්තිය පිළිගනියි

ට්‍රම්ප් සහ ෂි ජින් පිං

ඡායාරූප මූලාශ්‍රය, AP

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා කලින් සිටි ස්ථාවරය වෙනස් කරමින් 'එක චීනයක්' යන ජාත්‍යන්තර ප්‍රතිපත්තිය පිළිගන්නා බව ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ චීන ජනාධිපති ෂි ජින් පිං සමග පැවති දුරකථන සංවාදයකදීය.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ සිතුවිලිවල ඇතිවූ මේ නව වෙනස සාදරයෙන් පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලූ කන්ග් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

"එක චීනයක් කියන ප්‍රතිපත්තිය තමයි ඇමරිකාවත් චීනයත් අතර සබඳතා වල පදනම. ඒ ප්‍රතිපත්තියට අනුගතව කටයුතු කිරීමට අපි බැඳිලා ඉන්නව. ඒ නිසා 'එකම චීනයක්' යන ප්‍රතිපත්තිය පිළිගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම සතුටට කරුණක්' යනුවෙන් ඔහු පැවසීය.

ට්‍රම්ප්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන් ජනාධිපතිනි සායි ඉංග්‍ වෙන්

තායිවානයට ඇමතුමක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තායිවාන් ජනාධිපතිනි සායි ඉංග්‍ වෙන් (Tsai IngWen) හට දුරකතනයෙන් කතාකළේ ඇමරිකානු ජනාධිපති වශයෙන් තේරීපත්වී සති කිහිපයකට පසුවය.

ඒ පිළිබඳව චීනය තම අප්‍රසාදය පළකර තිබුණේ තායිවානය වෙනම රාජ්‍යයක් ලෙස සලකා සම්බන්ධතා පැවැත්වීමක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් චීනය පිළිගනු ලැබූ 1970 දශකයේ පටන් මේ දක්වා සිදු නොවූ බැවිණි.

තායිවානය චීනයෙන් වෙන්වී කටයුතු කරන නමුත් එම භූමිය චීනයේ කොටසක් ලෙස සැලකෙන බැවින් තායිවානය යනු 'එක චීනයක' කොටසක්ය යන ජාත්‍යන්තර පිළිගැනීමට ගරුකළ යුතු යුතු බව චීනය පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන් ජනාධිපතිනිය අතර සිදු වූ එම දුරකතන සාකච්ඡාව මෙතෙක් අනුගමනය කෙරුණ රාජ්‍යතාන්ත්‍රික පිළිවෙතේ 'පීලිපැනීමක්' ලෙස විග්‍රහ කෙරුණේ එබැවිණි.

එසේම එම දුරකථන ඇමතුම තායිවානය කළ 'පුංචි කපටිකමක්' ලෙසටත් චීනය විසින් හඳුන්වනු ලැබ තිබුණි.

කෙසේවුවද, මේ සංවාදය චීන ජනාධිපති ෂි ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වුණු ප්‍රථම දුරකථන සංවාදයයි.

සංචාරයට ඇරැයුමක්

ධවල මන්දිරය පවසන ආකාරයට රටවල් දෙකට බලපාන බොහෝ කරුණු පිලිබඳ නායකයන් දෙදෙනා අතර සකච්ඡා පැවැත්වී තිබේ.

එසේම තම රටේ සංචාරය කරන ලෙස දෙදෙනා විසින් එකිනෙකාට ආරාධනය කරනු ලැබූ බවද වාර්තාවේ.

බෙයිජිං පාලනය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ ට්‍රම්ප් ගේ මෙම නව ආකල්පය නිසා ඇමරිකාව සහ චීනය සහයෝගීතාවයෙන් යුතු කොටස්කරුවන් ලෙස ද්විපාර්ශ්වික සබඳතා මෙතෙක් ඉතිහාසයේ නොවූ විරූ තරම් ඉහළ තත්වයකට ගෙනයා හැකි බවය.

තායිවානයේ ප්‍රධාන යුද සහකරුවා ඇමරිකාව වුවද මේ දක්වා කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයෙක් තායිවානයට ඍජුව ඇමතුම් ලබා දී නැත.

'එකම චීනයක්' යන ප්‍රතිපත්තියට අනුව ඇමරිකානු ජනාධිපතිවරයා තායිවානයට ඍජුව දුරකථන ඇමතුමක් දීම ගැටලුවක් වූයේ එබැවිණි.

'චීනයේ ජයග්‍රහණයක්' ?

කෙසේවුවද, බීබීසී චීනසේවයේ සංස්කාරක කැරී ග්‍රේස් පවසන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වෙනස්වීම චීනයේ ජයග්‍රහණයක් බවය.

මීට මාස දෙකකට පෙර පෙනුණු ආකාරයට ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ බලවත්ම ආර්ථිකය සමග කටයුතු කරන ආකාරය වෙනස්කරන්නට සුදානම් වී සිටියේය.

චීන භාණ්ඩ ආනයනයේදී 45% ක බද්දක් පැනවීම පිළිබඳවද ඔහු අදහස් පළ කොට තිබුණි.

එහෙත් චීන නායකයාට දුරකථන ඇමතුමක් දී 'එක චීනයක්' යන ප්‍රතිපත්තිය පිළිගැනීම තුලින් චීනය පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයා දුන් පොරොන්දු සහ තර්ජනය කිරීම් සියල්ල අර්ථ විරහිත වන බව විචාරකයෝ පවසති.

එහෙත්, ඇමරිකාව පැත්තෙන් ට්‍රම්ප් ලබාගත් ජයග්‍රහණ මොනවාද යන්න තවමත් එළිදැක්වී නැති බවද ඔවුහු සඳහන් කරති.