තුන් මුසු දරු උපත

පුද්ගලයන් තිදෙනෙකුගේ ඩීඑන්ඒ අණු යොදා ගනිමින් නව ක්‍රමවේදයක් ඔස්සේ යුක්‍රේනයේ සිදු කරන ලද නල දරු උපතක් සාර්ථක වී ඇත.

කීව් නුවර වෛද්‍යවරුන් විසින් ලොව පළමු වතාවට අත්හදා බලන ලද එම ක්‍රමවේදයෙන් දරුවන් නොමැතිව සිටි යුවළකට දාව දරුවෙකු බිහි වී තිබේ.

කෙසේ නමුත් තිදෙනෙකුගේ ඩීඑන්ඒ යොදා ගනිමින් දරුවෙකු බිහි කරන ලද පළමු අවස්ථාව මෙය නොවේ.

ජනවාරි 05 වැනිදා උපත ලද බිළිඳිය පුද්ගලයන් තිදෙනෙකුගේ ඩීඑන්ඒ යොදා ගනිමින් බිහි කරන ලද ලොව දෙවැනි දරුවා බව විශ්වාස කෙරේ.

තරමක් වෙනස් ක්‍රමවේදයක් ඔස්සේ පුද්ගලයන් තිදෙනෙකුගේ ඩීඑන්ඒ යොදා ගනිමින් පසුගිය වසරේ මෙක්සිකෝවේ දී දරුවෙකු බිහි විය.

කීව් නගරයේ වෛද්‍ය කණ්ඩායම විසින් සිදු කොට ඇත්තේ මවගේ ඩිම්බ සෛලයක් පියාගේ ශුක්‍ර සෛලයක් සමග සංසේචනය කොට එමගින් නිර්මාණයවන ඩීඑන්ඒ අණු වෙනත් කාන්තාවකගේ ඩිම්බ සෛලයකට ඇතුළු කිරීමයි.

ඒ අනුව දරුවාට මව සහ පියාගේ අනන්‍යතාවයෙන් යුත් ඩීඑන්ඒ උරුමවන අතර ඉතාමත් කුඩා ප්‍රමාණයක ඩීඑන්ඒ කොටසක් ඩිම්බ සෛලය පරිත්‍යාග කරන ලද කාන්තාවගෙන් දරුවාට උරුම වේ.

ප්‍රවේනිගත ජාන ආබාධ දරුවන් වෙත උරුම වීමේ අවදානමක සිටින කාන්තාවන් වෙනුවෙන් වෛද්‍යවරු මෙම නව ක්‍රමවේදය නිර්මාණය කළහ.