ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිසේරියන් දරු උපත්: මිනිස් පරිණාමයට බලපෑමක්
දරු උපත් වල දී නිරන්තරයෙන් සිසේරියන් සැත්කම භාවිත කිරීම තුළින් මිනිස් පරිණාමනයට විශාල බලපෑමක් එල්ල කෙරෙන බව විද්‍යාඥයෝ කණ්ඩායමක් පවසයි.
ඉතා පටු උකුල් ප්‍රදේශයක් සහිතවීම නිසා වර්තමානයේ බොහෝ මව්වරුන් දරුවන් ලැබීමේ දී සිසේරියන් සැත්කමට භාජනය කළ යුතු බව සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.
ඒ අනුව දරු උපතක දී ඉතා පටු උකුල් ප්‍රදේශයක් සහිතවීම මෙන්ම ගර්භාෂයේ පටන් ප්‍රසූතිය නිම කිරීම දක්වා මාර්ගය පටුවීම නිසා 1960 දී මව්වරුන් දහසකට 30 දෙනකු සිසේරියන් සැත්කමට භාජනය කිරීමට සිදු වූ නමුත් වර්තමානයවන විට මව්වරුන් දහසකට 36 දෙනකු ප්‍රසූතියක දී සැත්කමට භාජනය කිරීමට සිදුවන බව විද්‍යාඥයෝ පවසති.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ස්වාභාවික දරු ප්‍රසූතියක් සඳහා කාන්තාවකට හිමි විය යුතු ශාරීරික සූදානම පරම්පරාවෙන් පරම්පරාවට ජාන හරහා ලැබිය යුතු අතර නිරන්තර සිසේරියන් සැත්කම් සිදු කිරීම එම ස්වාභාවික චක්‍රයට බලපෑම් කරන බවය.
ඇතැම් අවස්ථාවල වෛද්‍ය උපදෙස් මත මවක් දරු ප්‍රසූතියක දී සිසේරියන් සැත්කමකට භාජනය කිරීම අනුමත කළ හැකි නමුත් ස්වාභාවික දරු ප්‍රසූතියක් වෙනුවෙන් කාන්තාවකට ඇති හැකියාව තුරන්වන මට්ටමට සැත්කම් භාවිතය තුළින් මිනිස් පරිණාමයට හානිදායක බලපෑම් එල්ල විය හැකි බව සමීක්ෂණයේ සාරාංශය ලෙස ඔවුහු ප්‍රකාශ කළහ.
කෙසේ වෙතත් වර්තමානයේ කාන්තාවන්ට උපතින්ම ඉතා පටු උකුල් ප්‍රදේශයක් හිමිවීමට බලපාන හේතු සාධක සියල්ල අනාවරණයකර ගැනීම ඉතා ඈතට විහිදුනු විෂය පථයක් බව විද්‍යාඥයන්ගේ මතයයි.
බීබීසි වාර්තාකාරිනී හෙලන් බ්‍රිග්ස් විසින් සකසනු ලැබූ ලිපියක් ඇසුරෙනි.