ගුවන් යානයේ "කාන්තාවන්ට පමණයි"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කාන්තාවන්ට පමණක් අසුන්ගත හැකි සාමාන්‍ය පන්තියේ මගී ආසන වෙන් කිරීමේ වැඩපිළිවෙළක් එයාර් ඉන්ඩියා ගුවන් සමාගම ආරම්භ කර ඇත.
ඒ අනුව ආසන හයකින් සමන්විත පළමු අසුන් පෙළ කාන්තාවන් සඳහා පමණක් වෙන් කරනු ලැබ තිබේ.
එයාර් ඉන්ඩියා ගුවන් සමාගම විසින් එම ක්‍රියාමාර්ගය ගනු ලැබ ඇත්තේ ඇතැම් මගීන් විසින් කාන්තාවන් අයුතු ලෙස ස්පර්ශ කරනු ලැබ ඇති බවට වාර්තා පළ වීමත් සමගය.
තනිව ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරනුවස් එම තීන්දුව ගනු ලැබූ බව එයාර් ඉන්ඩියා ගුවන් සමාගමේ සාමාන්‍යාධිකාරිවරිය 'ද හින්දු'පුවත්පතට පවසා තිබේ.
"ජාතික ප්‍රවාහන සේවයක් වශයෙන් මගී කාන්තාවන්ගේ පහසුව ඉහළ නැංවීම අපේ වගකීමක්," සාමාන්‍යාධිකාරී මීනක්ෂි මලික් කියා සිටියාය.
කලබලකාරී ලෙස හැසිරෙන මගීන් පාලනය කිරීම සඳහා ගුවන් යානය තුළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු යෙදවීමටත් එයාර් ඉන්ඩියා ගුවන් සමාගම කටයුතු කොට තිබේ.
කාන්තාවන්ට මගී ආසන වෙන් කිරීමේ වැඩපිළිවෙළ මේ සති අන්තයේදී අභ්‍යන්තර ගුවන් ගමන්වලින් ආරම්භ කෙරෙන අතර ඉදිරි මාස කීපය ඇතුළත සෙසු ගුවන් ගමන් සඳහා ද එම පහසුකම ලබා දීමට ඉඩ ඇති බව වාර්තා වේ.
එයාර් ඉන්ඩියා ගුවන් සමාගම විසින් ගනු ලැබූ තීන්දුව එම සමාගමේ හිටපු ප්‍රධානි ජිතේන්ද්‍ර භාර්ගාවා ගේ විවේචනයට ලක් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මම දන්න ආකාරයට, මෙවැනි දෙයක් ලෝකයේ කිසිම තැනක සිදු වෙන්නේ නැහැ. මගී කාන්තාවන්ට ගුවන් යානා තුළ ආරක්ෂාවක් නැත්තේ නැහැ. නොහික්මුණු ආකාරයට හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කිරීමට යානයේ කාර්ය මණ්ඩලයට බලය ලබා දී තිබෙනවා," ඔහු 'ද හින්දු' පුවත්පතට පවසා තිබේ.
එයාර් ඉන්ඩියා ගුවන් සමාගම විසින් මතභේදාත්මක තීන්දුවක් ගනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.
ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කිරීමට තරම් ඇතැම් තරුණියන් තරබාරු වැඩි බව සමාගමේ ප්‍රධානීන් 2015 වසරේදී කාර්ය මණ්ඩලයේ ඇතමුන්ට පවසා තිබිණි.
ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කොට තිබුණේ එවැනි තරබාරු ගුවන් සේවිකාවන් නිසා ගුවන් සමාගමට ඉන්ධන සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවය.









