කරීනා සහ සයිෆ් පුතුගේ නම මතභේදයට

බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ අඹුසැමි යුවළක් විසින් සිය අලුත උපන් බිලිඳාට ආක්‍රමණිකයකුගේ නමක් තැබීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වී ඇත.

මධ්‍යම ආසියාවේ සිටි දාහතරවන සියවසට අයත් මොන්ගෝලියානු අධිරාජ්‍යයෙකුවන තයිමූර් හෙවත් තමලෙන් විසින් පුද්ගලයන් දහස් ගණනක් මරා දමනු ලැබ ඇතැයි විශ්වාස කෙරේ.

කරීනා කපූර් සහ සයිෆ් අලී ඛාන් යුවළ තම අලුත උපන් පුතුට නම තබා ඇත්තේ ද තයිමූර් ලෙසය.

නමුත් කරීනා - සයිෆ් රසිකයන් පවසන්නේ 'යකඩ' යන අරුත ඇති තයිමූර් යන්න තවත් එක් නමක් පමණක් බවය.

කෙසේ වෙතත් මතභේදයට තුඩු දුන් පුද්ගලයකුගේ නමක් කරීනා සයිෆ් යුවළ විසින් සිය පුතුගේ නම වශයෙන් යොදා ගැනීම ඉන්දියාවේ ට්විටර් ඇතුළු සමාජ ජාල භාවිත කරන්නන් අතර දැඩි සංවාදයට ලක් වී තිබේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුවන මන්සූර් ඛාන් සහ හිටපු බොලිවුඩ් නිළියකවන ශර්මිලා තාගෝර් සයිෆ් අලි ඛාන්ගේ දෙමව්පියන්ය.

කරීනා කපූර්ගේ මව්පියන් මෙන්ම ඇයගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකු ද ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියෝ වෙති.