පිළිකා ඖෂධ හිඟයක් මවා පෑමේ උත්සාහයක් - රාජිත

පිළිකා රෝගීන් සඳහා නොමිලේ ලබාදෙන ඖෂධවල හිඟයක් ඇති බව ප්‍රකාශ කරමින් ඇතැම් වෛද්‍යවරුන් රජය අප්‍රසාදයට පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවට පැමිණිලි ලැබී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

එලෙස පැමිණිලි ලැබී ඇති පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

ඖෂධවල හිඟයක් ඇති හුවා දැක්වීමට උත්සාහ දැරීම තුළින් රෝගීන් තුළ අනියත බියක් මතුව ඇති බවත් සෞඛ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම පසුගියදා ඩෙන්මාර්කයේ සංචාරයක නිරත වී ඇති බවත් එම සංචාරය සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ පිළිකා ඖෂධ ආනයනය කරනු ලබන බහුජාතික සමාගමක් බවත් ඇමතිවරයා පැවසීය.

"ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි. මහරගම අපේක්ෂා රෝහලේ ඇතැම් පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් රුසියාවෙන් ආනයනය කළ පිළිකා ඖෂධය භාවිතා කරන්නේ නැහැ. රුසියාවෙන් ගෙන්වන ලද ඖෂධ භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රකාශ කර තිබෙනවා." යනුවෙන් ඇමතිවරයා කියා සිටියේය.

"රජයේ ඕනෑම වෛද්‍යවරයෙක් බැඳී සිටිනවා රජය විසින් ලබා දෙන ඖෂධ රෝගීන් වෙත ලබා දීමට." සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළේය.