ඉතාලි භූමි කම්පාවේ විනාශය ගුවනට පෙනෙන හැටි

ඊයේ උදෑසන (ඔක් 30) හටගත් දරුණු භූමිකම්පාවෙන් පසු මධ්‍යම ඉතාලියේ බොහෝ පිරිස් සිය රථ වාහන තුළට වී රාත්‍රිය ගත කළහ.

ජාතිය ඇමතූ ඉතාලි අගමැති මාතියෝ රෙන්සි ප්‍රකාශ කළේ මධ්‍යම ඉතාලියේ භූමි කම්පා මාලාවෙන් විනාශයට පත් වූ ප්‍රදේශ කඩිනමින් නැවත ගොඩ නැගීමට කටයුතු කරන බවය.

මෙය, මාස තුනක කාලයක් ඇතුළත ඉතාලිය මුහුණ දුන් සිව්වෙනි භූමිකම්පාවය.

රික්ටර් මාපකයේ 6.6ක් සටහන් කළ භූමිකම්පාව දශක ගණනාවකින් ඉතාලියේ හටගනු ලැබූ ප්‍රබලම කම්පනය ලෙස නම් කොට ඇත.

පසුගිය අගෝස්තු මාසයේ තුන්සීයකට ආසන්න පිරිසකට මරු කැඳවූ භූමිකම්පාව හටගත් මධ්‍යම ඉතාලියේ නෝසියා ප්‍රදේශයට යාබදව ඊයේ දිනයේ භූචලනය වාර්තා විය.

මේ වනතුරු භූ චලනයෙන් කිසිවකු මරණයට පත් වී ඇති බවට තොරතුරු ලැබී නැති නමුත් විසි දෙනකුට ආසන්න පිරිසක් අනතුරෙන් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊයේ උදෑසන හටගත් භූ චලනයෙන් අනතුරුව අද උදෑසන වන තුරුම සියයකට ආසන්න පසු කම්පන මධ්‍යම ඉතාලියේ ඇතිව තිබෙන අතර ඉන් සමහරක් රික්ටර් මාපකයේ 4.2 සටහන් කොට ඇත.

භූ කම්පන හටගත් කලාපයේ විසූ පහළොස් දහසකට අධික පිරිසක් මේ වන විට ආරක්‍ෂිත කඳවුරු වල සෙවන ලබන බව ඉතාලි බලධාරීහු පවසති.