සිසිල් බීමවලටත් 'සීනි බද්දක් අය කළ යුතුයි'

ඡායාරූප මූලාශ්‍රය, AP
සිසිල් බීම සඳහා 'සීනි බද්දක්' අය කරන රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානයද සහයෝගය පළ කර තිබේ.
සිසිල් බීම වර්ගවල මිල සියයට විස්සකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීම පරිභෝජනය අඩුවීමට සහ බීම වර්ගවල 'පෝෂ්‍ය ගුණය' වැඩිවීමට හේතු වී තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම වාර්තාවක දැක්වෙන්නේ.
සිසිල් බීම වර්ගවල සීනි ප්‍රමාණය අඩු කළ යුතු යයි මීට ඉහතදීත් නිර්දේශ කළත්, ඒ සඳහා බදු අය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක සෞඛ්‍ය සවිධානය නිර්දේශ කරන පළමු වතාව මෙයයි.
මෙක්සිකෝව සහ හංගේරියාව ඇතුළු රටවල් කිහිපයක් සීනි අඩංගු නිෂ්පාදනවලට දැනටමත් බද්දක් පනවා තිබේ.
පැණි බීම බෝතල්වල වර්ණ සංකේත සඳහන් කිරීම අනිවාර්ය කිරීමට මීට ඉහතදී පියවර ගත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, රස කැවිලි නිෂ්පාදනවලටත් එය හඳුන්වා දෙන බව නිවේදනය කර තිබේ.

ස්ථුලභාවය, දියවැඩියාව සහ දන්ත ඛාදනය අවම කිරීම් වස් පලතුරු සහ කිරිවල අඩංගු ස්වභාවික සීනි හැරුණු විට ආහාරයේ අඩංගු අනෙක් සියලුම ආකාරයේ සීනි (free sugar) පරිභෝජනය අවම කිරීම සිය උත්සාහය බවයි එම සංවිධානය පවසන්නේ.
"පෝෂ්‍ය ගුණය සලකා බැලුවොත්, ආහාරයේ කිසිම සීනි වර්ගයක් අඩංගු වීම අවශ්‍ය නැහැ," පෝෂණය සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ෆ්‍රන්සෙස්කෝ බ්‍රන්කා සඳහන් කළේය.
සෑම පුද්ගලයකුම සිය ආහාර වේලේ අඩංගු සීනි ප්‍රමාණය 10% දක්වා - හැකිනම් 5% දක්වා - පහල තත්වයක තබා ගැනීමට උත්සාහ කළ යුතු බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
එළවලු සහ පලතුරු නිෂ්පාදකයන්ට ආණ්ඩුව සහනාධාර ලබාදීම මගින් පරිභෝජනය ඉහල දැමිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.








