අසැබි ප්‍රකාශන සම්බන්ධයෙන් ට්‍රම්ප් සමාව ඉල්ලයි

Screengrab of Donald Trump

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඔබ ප්‍රසිද්ධ තරුවක් නම් ඔබට කාන්තාවන්ට, ඔබ කැමති ඕනෑම දෙයක් කළ හැකියි' යනුවෙන් ට්‍රම්ප් කියා සිටින ආකාරය වීඩියෝ පටයේ දැක්වේ

කාන්තාවන් සම්බන්ධයෙන් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීමක් පිළිබඳව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමාව අයැද සිටියේය.

2005 වසරේ දී ඔහු කාන්තාවන් සම්බන්ධයෙන් අසභ්‍ය ප්‍රකාශයක් කරනු දැක්වෙන වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් වීමත් සමගයි එම පියවර ගත්තේ.

'ඔබ ප්‍රසිද්ධ තරුවක් නම් ඔබට කාන්තාවන්ට, ඔබ කැමති ඕනෑම දෙයක් කළ හැකියි' යනුවෙන් ට්‍රම්ප් කියා සිටින ආකාරය වීඩියෝ පටයේ දැක්වේ.

කාන්තා සබඳතා සහ ඔවුන් සිප ගැනීම පිළිබඳව ට්‍රම්ප් පුරසාරම් දොඩන ආකාරයත් වීඩියෝ පටයට ඇතුළත් වෙයි.

ඉහත කී ප්‍රකාශය තුළින් තමන් පිළිබඳ නිගමනයකට නොඑන ලෙස රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා ඉල්ලා සිටියි.

කාන්තාවන් සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ මුල්පෙළේ නායකයන් විසින් ද හෙළා දකිනු ලැබ ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශන 'ඉතා බියකරු' ඒවා හැටියට විග්‍රහ කරමින් 'මේ පුද්ගලයාට ජනාධිපති පදවියට පත් වීමට ඉඩ දීමට පුළුවන් කමක් නැතැයි' ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පැවසුවාය.