ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොලොම්බියාව යුද්ධයෙන් සහජීවනයට
ලෝකයේ වැඩිම කාලයක් දිග් ගැසුණ සිවිල් යුද්ධ වලින් එකක් වන කොලොම්බියා යුද්ධය නිමාවකට ගෙන ඒමේ සටන් විරාම ගිවිසුම ඉරිදා (28) රාත්‍රියේ පටන් බල පැවැත්වේ.
කොලොම්බියා සිවිල් යුද්ධය ලෝකයේ දීර්ඝතම ගැටුමක් මෙන්ම විශාල සංඛ්‍යාවක් ජීවිත විනාශ කෙරුණ ගැටුම් වලින් එකකි.
වසර පනහකට අධික කාලයක් කොලොම්බියා ආණ්ඩුවට එරෙහිව සටන් වැදුණ 'FARC' ගරිල්ලා ව්‍යාපාරයේ වත්මන් නායක රොඩ්රිගෝ ලෝන්දොනෝ නොහොත් තිමොචෙන්කෝ(Timochenko) ඉරිදා ප්‍රකාශයක් කරමින් රාජ්‍යයට එරෙහි සිය අරගලය නිම වූ බව ප්‍රකාශයට පත් කළේය.
කොලොම්බියා සිවිල් යුද්ධයට වසර පනහකට අධික ඉතිහාසයක් ඇති අතර සමස්ත කාල පරිච්ඡේදය පුරා ආණ්ඩුවේ හමුදා සහ ගරිල්ලා ප්‍රහාර මගින් දෙලක්ෂ හැට දහසකට අධික ජීවිත විනාශයක් සිදු වී ඇතැයි ඇස්තමේන්තු කෙරේ.
දසලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන්හිටි තැන් අහිමි විය.
අහිමි ජීවිත
කොලොම්බියා විප්ලවීය සන්නද්ධ හමුදාවේ අණදෙන නිලධාරී රොඩ්රිගෝ ලෝන්දොනෝ කැරැල්ලේ ඉතිහාසය පුරා යුද්ධයෙන් පීඩා විඳි ජනයාගෙන් සමාව ඉල්ලා සිටි අතර තම සංවිධානය දැන් සාමය වෙනුවෙන් කැප වෙන බවයි කියා සිටින්නේ.
නව තත්වය අනුව මේ මොහොතේ කොලොම්බියාවේ පවතින්නේ සාමයෙන් උදම් වෙමින් ඇති පරිසරයක්.
'කොලොම්බියාවේ අපි වැඩි දෙනෙක් සාමයක් දැකල නැහැ. ජීවිතයේ යහපත් තත්වය දැකල නැහැ. මහපාරේ වාහනයක් පදවා ගෙන වෙනත් සමහර නගරයකට යන අවස්ථාවල තිබුණේ අනාරක්ෂාව, බිය සහ කෝපයට ගොදුරු වීම්. මම හිතනවා, මේ ගිවිසුම ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීමට හොඳ අවස්ථාවක් කියල' බොගෝටා අගනුවර ශිෂ්‍යාවක් වන ලෝරා චසෝන් කියා සිටියි.
කොලොම්බියා විප්ලවීය සන්නද්ධ හමුදාව විසින් මාස හයකට අධික කාලයක් ප්‍රාණ ඇපයේ තබා ගත් කාන්තාවක් වන ඉන්ග්රිඩ් බෙටන්කොර්ට් කියා සිටින්නේ මෙම සරණ විරාම ගිවිසුම යහපත් අනාගතයක සමාරම්භය වන බවයි.
යුද්ධය සහ සාමය
කොලොම්බියාවේ සටන් විරාමය තීන්දු කෙරෙන ගිවිසුමට අත්සන් තබනු ලැබුණේ පසුගිය සතියේ.
නව සටන් විරාමයට අදාළ නිත්‍ය ගිවිසුම ඉදිරි සති කීපය තුළ අත්සන් තැබීමට නියමිතයි.
ඒ අතර එම ගිවිසුම සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් මාසයේ ජනමත විචාරණයක් ද පැවැත්වෙන බවයි කොලොම්බියාවේ බලධාරීන් පවසන්නේ.
සටන් විරාම ගිවිසුම අනුව කොලොම්බියානු ආණ්ඩුවේ හමුදාවන් ද එම වෙලාවටම සටන් විරාමයට අනුගත වූ බව මේ වන විට වාර්තා වී තිබේ.