ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශයේ කොර්සිකා වෙරළේ 'බුර්කිනි' තහනමක්
ප්‍රංශයේ කොර්සිකා දූපතේ නගරාධිපති විසින් මුස්ලිම් කාන්තාවන් අඳිනු ලබන 'බුර්කිනි' නම් මුළු ශරීරයම ආවරණය කෙරෙන නාන ඇඳුම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
නගරාධිපතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබුවේ උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත ඉස්ලාම් භක්තික පවුල් කිහිපයක් සහ ප්‍රාදේශීය තරුණ කණ්ඩායමක් අතර හටගත් ගැටුමක් සැලකිල්ලට ගෙනයි.
පසුගිය සෙනසුරාදා කොර්සිකා වෙරළේ සිටි 'බුර්කිනි' හැඳගත් කාන්තාවන් අසලින් ගමන් ගත් සංචාරකයෙකු විසින් ඡායාරූප ගැනීම වැළක්වීමට උත්සාහ කළ ඉස්ලාම් භක්තිකයන් සහ ප්‍රාදේශීය තරුණ පිරිස් අතර ගැටුම් ඇවිලී තිබේ.
අත් පොරව ප්‍රහාරයක්
ෆ්‍රාන්ස් 3 රූපවාහිනී නාලිකාව වාර්තා කළේ පුද්ගලයන් පස් දෙනෙකුට තුවාල සහ දේපළ හානි සිදු කළ ගැටුම හේතු කොට ගෙන ඊයේ පැවති විශේෂ මන්ත්‍රණ සභා රැස්වීමකදී මෙම 'බුර්කිනි' තහනම නගරාධිපතිවරයා විසින් දැනුම් දුන් බවයි.
ගිණිකොන දිග ප්‍රංශයේ 'කෑන්ස්' (Cannes) සහ 'විල්නෙව්ලුබෙට්' (Villeneuve-Loubet) යන නගර වල පසුගිය මාසයේ මුස්ලිම් කාන්තාවන් අඳිනු ලබන 'බුර්කිනි' තහනම් කිරීමට බලධාරීන් විසින් පියවර ගනු ලැබුණි.
කොර්සිකා වෙරළේ ඇති වූ ගැටුම ඇසින් දුටු පුද්ගලයන් කියා සිටියේ කලහකාරී පිරිස විසින් අත් පොරොව සහ මසුන් මැරීමට යොදා ගන්නා තියුණු ආයුධ වලින් එකිනෙකාට පහර දුන් බවයි.
පසුගිය ඉරිදා සිදු වූ මෙම ගැටුමෙන් තුවාල ලද පුද්ගලයන් පස් දෙනා මේ වන විට රෝහලෙන් පිටත් කර යවා ඇති නමුත් කොර්සිකා දූපතේ නොසන්සුන්කාරී වාතාවරණයක් පවතින බවයි වාර්තා වන්නේ.
'මේ අපේ රටයි'
පසුගිය ජූලි දාහතර වෙනිදා ප්‍රංශයේ නීස් නගරයේ ඉස්ලාම් භක්තිකයෙකු විසින් නිදහස් දින උළෙල සමරමින් සිටි පිරිසක් යට කර ගෙන ලොරියක් ධාවනය කරමින් අසූ පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසු දකුණු ප්‍රංශ වැසියන් සහ ප්‍රාදේශීය වශයෙන් ජීවත් වන උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත ඉස්ලාම් භක්තික පවුල් අතර උණුසුම් තත්වයක් වර්ධනය විය.
ඊයේ දිනයේ දෙසීයකට අධික කොර්සිකානු වැසියන් පිරිසක් විරෝධතා පාගමනක නිරත වෙමින් එම ප්‍රදේශයේ උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත ඉස්ලාම් භක්තික පවුල් ජීවත් වන 'ලුපිනෝ' නිවාස සංකීර්ණය දෙසට යාමට උත්සාහ කළ නමුත් පොලිසියේ මැදිහත්වීමෙන් පිරිස විසුරුවා හැරුණි.
පාගමන නැවත්වීමට පැමිණි පොලිස් භටයන් සමග පොරබැදූ විරෝධතාකරුවෝ 'මේ අපේ රටයි' කියමින් හඬ නැගූ බවයි ප්‍රංශයේ 'ලෙ මොන්ද්' පුවත්පත වාර්තා කළේ.
වෙරළේ සිදු වූ ගැටුම් සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වන විට ප්‍රංශ අධිකරණ බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් දියත් කරනු ලැබ තිබේ.
සෙනසුරාදා ගැටුම සිදු වූ ස්ථානයේ සිටි පුද්ගලයෙකු සිය අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ සංචාරකයා ඡායාරූප ගැනීමෙන් වැලැක්වූ ඉස්ලාම් භක්තිකයන්ගේ හැසිරීම දුටු තරුණයන් කිහිප දෙනෙකු ද ඡායාරූප ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීම ගැටුමකට පෙරලුනු බවයි.
අනාගමිකවාදී සංස්කෘතිය
පසුව තරුණ පිරිස ප්‍රහාරයට ලක්වීම වැළක්වීමට ප්‍රදේශවාසීන් හතළිස් දෙනෙකු පමණ දිව ආ අතර වීදුරු බෝතල්, ගල්මුල්, මෙන්ම තියුණු ආයුධ භාවිතා කරමින් එකිනෙකාට පහර දීමට පටන් ගනු තමන් දුටු බවයි ඔහු පවසන්නේ.
'බුර්කිනි' හැඳගත් කාන්තාවන්ගේ කණ්ඩායමේ සිටි වැඩිහිටි පිරිමින් විසින් තරුණයින්ට අත් පොරව වලින් පහර දෙනු දුටු බව තවත් සාක්ෂි කරුවෙකු ප්‍රංශ මාධ්‍යයට අදහස් පළ කොට තිබුණි.
ප්‍රදේශ වාසීන් විසින් පසුව ගැටුම ඇතිකරගත් මුස්ලිම් පවුල් වෙරළට පැමිණි මෝටර්රථ කිහිපයකට ගිනි තබා ඇති බවත් වාර්තා වෙයි.
ප්‍රංශයේ ගැඹුරින් මුල්බැස ගත් අනාගමිකවාදී සංස්කෘතිය හේතුවෙන් ආගමික සංකේත පොදු සමාජයේ ප්‍රදර්ශනය කිරීම බොහෝ අවස්ථා වල මතභේදයට තුඩු දෙයි.
ඉස්ලාම් පර්දාව ප්‍රංශ පාසල් වලින් තහනම් කර ඇති අතර සම්පුර්ණයෙන්ම මුහුණ වැසෙන පරිදි වීලයක් පැළඳීම සහ පොදු ස්ථාන වල බුර්කාවෙන් සැරසීම ප්‍රංශ නීතියෙන් තහනම් කර තිබේ.
'කෑන්ස්' නගරයේ පැනවූ බුර්කිනි තහනම නීස් අධිකරණය මගින් තහවුරු කළ නමුත් ප්‍රංශයේ ඉස්ලාම්භීතිකාවට එරෙහිව කටයුතු කරන කණ්ඩායමක් (CCIF) කියා සිටියේ මෙම අධිකරණ නියෝගයට එරෙහිව ප්‍රංශ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කරන බවයි.