ඩකා ප්‍රහාරය: දෙදෙනෙක් සැක පිට අත්අඩංගුවේ

පසුගිය මාසයේ බංග්ලාදේශයේ ඩකා අගනුවර විදේශිකයන් ඇතුළු විසි දෙනෙකු ඝාතනය කෙරුණු ආපනශාලා ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

බංග්ලාදේශ සම්භවයක් සහිත එංගලන්ත පුරවැසිභාවය හිමි හස්නාත් ඛාන් සහ තහ්මිඩ් ඛාන් යන පුද්ගලයන් දෙදෙනා මෙලෙස සැක පිට පොලිස් අත්අඩංගුවට පත් විය.

ආපන ශාලාව තුළ සිටි පිරිස ප්‍රහාරකයන් විසින් ප්‍රාණ ඇප කරුවන් ලෙස රඳවා ගනු ලැබූ අවස්ථාවේ මෙම සැක කරුවන් දෙදෙනා ආපනශාලාව තුළ සිටි අතර පොලිසිය විසින් ප්‍රහාරය මැඩ පැවැත්වීමෙන් පසු ඔවුන් සොයා ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය කියා සිටියේ.

මෙම සැක කරුවන් දෙදෙනා දින දහයක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම් වලට ලක් කිරීමට බලාපොරොත්තු වන බවයි පොලිසිය පවසන්නේ.

බංග්ලාදේශ පසුබිමක් සහිත කැනේඩියානු වැසියෙකු වන තමීම් චවුද්රි (Tamim Chowdhury) නමැති පුද්ගලයෙකු විසින් මෙම මාරාන්තික ප්‍රහාරය සැලසුම් කර ඇති බවටයි පොලිසිය සැක කෙරෙන්නේ.

ආපනශාලාවේ ප්‍රහාරය සිය සංවිධානය විසින් ගෙන ගිය බව ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයක් කර තිබුනත් බංග්ලාදේශ රජය කියා සිටින්නේ මෙය සිය රට තුළම පැතිරෙමින් පවතින කැරලිකරුවන්ගේ ප්‍රහාරයක් බවයි.