ළමා ශ්‍රමය අනුමත කිරීම ගැන ඉන්දියාවට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ළමා ශ්‍රමිකයන් පිලිබඳ දැනට පවතින නීති රීති ලිහිල් කරමින් ඉදිරිපත් කළ මතභේදාත්මක සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දීම පිළිබඳව ඉන්දියාව චෝදනාවට ලක්වී ඇත.
නව නීති අනුව වයස අවුරුදු 14 ට අඩු ළමුන් සේවයේ යෙදවීම තහනම් කර ඇති නමුත් 'පවුලට සම්බන්ධ සහ පවුලේ ව්‍යාපාර' වල වැඩ කිරීම සඳහා ළමුන් ට හැකි වන පරිදි පෙර පැවති නීතිය ලිහිල් කර තිබේ.
ඒ අතරම මෙම නව යෝජනාව මගින් වයස අවුරුදු 15 සහ 18 අතර ළමුන් විසින් නොකළ යුතු බවට තහනම් කර තිබූ රැකියා සංඛ්‍යාවද අඩු කොට තිබේ.
මෙම නව නීති මගින් දුප්පත් ළමුන්ට දෛනික වියදම් උපයාගැනීම සඳහා තම පවුලේ අයට උදව් කිරීමට හැකිවන අතර ළමුන්ගේ කුසළතා වර්ධනයටද එය හේතුවක් වන බවයි ඉන්දීය රජය පවසන්නේ.

එසේවුවද, ඉන්දියාවේ මෙම නව සංශෝධනය විවේචනය කරන අය අතර ළමුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය වන 'යුනිසෙෆ්' ආයතනය සහ නොබෙල් ත්‍යාග ලාභී ඉන්දියානුවෙකු වන කයිලාෂ් සත්‍යරති ඇතුළු අය ද වෙති.
කම්කරු සහ රැකියා පිලිබඳ අමාත්‍ය බන්දාරු දත්තත්‍රයා පාර්ලිමේන්තුවට පැවසුවේ මෙවැනි ලිහිල් කිරීමක් තුළින් ළමා ශ්‍රමය පිලිබඳව පවතින අණ පනත් ප්‍රයෝගිකව ක්‍රියාවේ යෙදවීමේ අවස්ථාව රජයට ලැබෙන බවයි.
මේ නව නීති මගින් ළමා ශ්‍රමිකයන් සඳහා ආරක්ෂාව බොහෝකොට තහවුරුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම නව නීතිය අනුව වයස 14 ට අඩු ළමුන්ට කළ නොහැකි බවට තහනම් කර ඇත්තේ 'අනතුරුදායක' ලෙස වර්ගීකරණය කර ඇති රැකියා පමණි.
මෙම නව සංශෝධන හේතුවෙන් ළමුන්ට පාසල් කාලයෙන් පසු සහ නිවාඩු කාලවල දී පවුලේ ව්‍යාපාර වල වැඩකිරීමට සිදුවෙනවා පමණක් නොව දියමන්ති කැපීම, කැළිකසල ඉවත්කිරීම, ගඩොල් කැපීම, සත්වඝාතකාගර වල සේවය කිරීම සහ ගෘහස්ථ සේවයේ යෙදීම වැනි රැකියාවල නිරතවීමට සිදුවනු ඇති බවයි ක්‍රියාධරයන් පවසන්නේ.

මේ නව කම්කරු පනතට අනුව ඇතැම්විට ළමා ශ්‍රමය අදෘශ්‍යමාන තත්වයට පත්විය හැකි අතර වඩාත් අසරණ සහ සමාජයෙන් කොන්වී සිටින ළමුන් ගේ පාසැල් යාමට ද බාධා ඇතිවන හෙයින් පාසැල් හැරයාම ද සිදුවිය හැකි බවයි ඉන්දියාවේ යුනිසෙෆ් ආයතනයේ අධ්‍යාපන අංශ ප්‍රධානී යුපරාත්ස් ගොබිනා ප්‍රකාශ කළේ.
ඉන්දියාවේ දළ වශයෙන් මිලියන 10.2 ක් පමණ ලමාශ්‍රමිකයන් පිරිසක් සිටින බවට ගණන් බලා තිබෙන අතර නොබෙල් ත්‍යාගලාභී ඉන්දියානුවෙකු වන කයිලාෂ් සත්‍යරති පැවසුවේ මෙම නව පනත්කෙටුම්පත තුළින් ඉන්දියාව තම අවස්ථාව නැතිකරගෙන ඇති බවයි.
'පවුල සහ පවුලට සම්බන්ධ' යන යෙදුමේ අර්ථ දැක්වීම ගැටළු සහගත වන අතර ආර්ථික කටයුතු සඳහා ළමුන් යොදාගැනීම සාධාරණීකරණය කෙරෙන අතර පවුලේ ව්‍යාපාර තුළ සේවය කිරීම සහ පවුල තුළ අධ්‍යාපනය ලැබීම යන දෙක අතර පැවති සීමා රේඛාව අපැහැදිලි තත්වයට පත්කර සමාජය නොමගයවා ඇති බවයි ඔහු පවසන්නේ.








