ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසර දෙදහසකට පෙර රෝම වෙළෙන්දන් තමිල්නාඩුවේ
තමිල්නාඩු ප්‍රාන්තයේ පට්ටරෛ පෙරම්බුත්තූර් ප්‍රදේශයේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකදී මධ්‍යතන ශිලා යුගයට අයත් පුරාවස්තු සොයා ගෙන ඇති බව තමිල්නාඩු රජය පවසයි.
පසුගිය අවුරුද්දේ කැණීම් කටයුතු ආරම්භ වූ අතර මධ්‍යතන ශිලා යුගයට අයත් ශෛලමය භාණ්ඩ ඇතුළු තවත් භාණ්ඩ කීපයක් සොයා ගෙන ඇත.
ඉන් අනතුරුව අවට ප්‍රදේශයේ කරන ලද තවත් කැණීම් දොළහකින් පමණ පුරාවස්තු දෙසීයකට අධික ප්‍රමාණයක් හමු වී ඇති බව තමිල්නාඩු රජය පවසයි.
මධ්‍යතන ශිලා යුගයේ පටන් නව ශිලා යුගය දක්වා මෙම පෙදෙස්වල මිනිසුන් ජීවත් වූ බව තහවුරු කිරීමට සාක්ෂි තිබෙන බවයි තමිල්නාඩු පුරාවිද්‍යා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර් සිවානන්දම් බීබීසියට කියා සිටියේ.
'මෙම ප්‍රදේශයේ අවුරුදු තිස් දාහකට පෙර සිට මිනිසුන් ජීවත් වු බව අපි විශ්වාස කරනවා. මධ්‍ය ශිලා යුගයෙහි දී මිනිසුන් භාවිතා කර ඇති ගල් ආයුධ කීපයක් අපි සොයා ගත්තා. අමතරව යකඩ යුගයේ මිනිසුන් භාවිතා කරපු යකඩ ආයුධ, කළු සහ රතු පැහැති කළ ගෙඩි ඇතුළු භාණ්ඩ කීපයක් අපි සොයා ගත්තා. නව ශිලා යුගයට අයත් යකඩ භාණ්ඩ, ගල් පබළු, තඹ නිෂ්පාදන, පොරව, රෝමානු රොව්ලට් මැටි කළයක් ද සොයා ගෙන තිබෙනවා. මෙම සාක්ෂි හේතු කරගෙන මෙම ප්‍රදේශයේ අවුරුදු තිස් දාහකට පෙර සිට දිගටම මිනිසුන් ජීවත් වූ බව අපි විශ්වාස කරනවා.' ඔහු පැවසීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර් සිවානන්දම් කියා සිටියේ, රෝමානු වෙළෙන්දන් මෙම ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
'රෝමයේ සිට ආ වෙළෙන්දන් භාවිතා කරපු රොව්ලට් මැටි කළයක් අප සොයා ගෙන තිබෙනවා. මෙම කළය තමිල්නාඩුවේ නිෂ්පාදනය කරපු එකක් නෙමෙයි. රෝමයේ හදපු එකක්. පල්ලව රාජ වංසයේ අගනුවරක් විදියට තිබුණේ කාන්චිපුරම්. ඒ අගනුවරට යන මාර්ගයක් වශයෙන් මෙම පට්ටරෛ පෙරම්බුත්තූර් තිබුණා. ඒ නිසා අවුරුදු දෙදාහකට පෙර සිට තමිල්නාඩු හා රෝමය අතර වෙළඳ සබඳතා තිබුණ බව අනාවරණය වී තියෙනවා.' ඔහු ප්‍රකාශ කළේය.
කැණීම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසූ, තමිල්නාඩු පුරාවිද්‍යා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර් සිවානන්දම් තවදුරටත් කියා සිටියේ තවත් පුරාවස්තු සොයා ගත හැකි බවට බලාපොරොත්තු තැබිය හැකි බවයි.