ඇමරිකානු පොලිස් තුවක්කුවට තවත් කළු ජාතිකයන් දෙදෙනෙක්

ඇමරිකාවේදී එලි දැක්වී ඇති නවතම වීඩියෝවකට අනුව පැය 48 ක් ඇතුළත දෙවන වරටත් සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් කළු ජාතිකයෙකු මියගොස් තිබේ.

වාර්තාවන ආකාරයට පිලන්දෝ කැස්ටයිල් නම් කළු ජාතිකයා මිනිඇපොලිස් නගරයේ දී පොලීසිය විසින් නවතා ඇත්තේ ඔහුගේ වාහනයේ බිඳී ගිය ලාම්පුවක් දැකීමෙන්.

පොලිස් නිලධාරියා ගිනි අවියක් මානා ගෙන සිටින අතර පිලන්දෝ ලේ වගුරුවමින් වැටී සිටින අයුරු මගී ආසනයේ සිටි ඔහුගේ පෙම්වතිය විසින් වීඩියෝ ගත කර තිබේ.

මේ අතර සුදු ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඇල්ටන් ස්ටර්ලින් නම් තවත් කළු ජාතිකයෙකු ලුසියානා ප්‍රන්තයේ බැටන් රෝග් හි වෙළඳසැලක් අසලදී වෙඩිතබා මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිලිබඳ පරීක්ෂණ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මීට පෙර ආරම්භ කර තිබුණි.

එම වීඩියෝවට අනුව පොලීසිය විසින් ඇල්ටන් බිමට පහත්කොට අල්ලාගෙන සිටිද්දීය සමීපයේ සිට වෙඩි තබා ඇත්තේ.

එම ඝාතනයෙන් පසු සියගණනක් පිරිස් වෙළඳසැල අසලට රැස්ව විරෝධතා පැවැත්වූ බවයි වාර්තා වන්නේ.