'ජාතික ගීය කොඳුරන්න එපා' - ක්‍රීඩකයන්ට අනතුරු ඇඟවීමක්

ජාතික ගීය කොඳුරමින් ගයනා නොකරන ලෙස 2020 ජපාන ඔලිම්පික් සංවිධාන කමිටුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායමට අනතුරු අඟවා තිබේ.

ජාතික ගීය නිසියාකාරව ගායනා නොකරන අය රට නියෝජනය නොකළ යුතු බවයි හිටපු ජපාන අගමැති ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති යෝශිරෝ මොරි පවසයි.

ලබන අගෝස්තු මාසයේ දී රියෝද ජනේරෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගීවීම සඳහා පුහුණුවීම් නිමකළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 ක් දෙනා විසිර යාමේ උත්සවයේදීය හිටපු අගමැතිවරයා මෙසේ පැවසුවේ.

'ඔබ වේදිකාවට ගියාම කරුණාකරලා ජාතික ගීය කොඳුරන්න එපා, හොඳින් ගයනා කරන්න' යනුවෙනුයි 2020 ජපාන ඔලිම්පික් කමිටුවේ සංවිධායක මොරි ඉරිදා ප්‍රකාශකලේ.

'ජතිකගීය හරියට ගයනා කරන්න බැරි අය ජපානය නියෝජනය කරන්න තෝරා ගත යුතු නැහැ' යනුවෙන් ඔහු පැවසූ බවයි අසාහි පුවත්පත වාර්තා කළේ.

වසර 2000 සිට 2001 දක්වා ජපානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ මොරි මෙවැනි විවාදාත්මක කතා කීම පිළිබඳව ප්‍රසිද්ධව සිටි අයෙකි.

2014 පෙබරවාරි මාසයේ දී ජාත්‍යන්තර සම්මන්ත්‍රනයක දී ඉංග්‍රීසි භාෂාව කතා නොකර ජපන් භාෂාව පමණක් කතා කරන්නේ ඇයි දැයි ඇසූ විට ඔහු පවසා තිබුනෙ 'ඉංග්‍රීසි භාෂාව සතුරාගේ භාෂාව' බවයි.

සෝචි ඔලිම්පික් උත්සවයේ දී ස්කේටින් ක්‍රීඩා නිරුපනයේ යෙදුණු මාඕ අසදා ව විවේචනය කිරීම පිළිබඳවද යෝශිරෝ මොරි ට චෝදනා එල්ල විය

2020 ටෝකියෝ ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් තරගාවලි පවත්වීමද පිළිබඳවද විවිධ මතවාද මතුවී තිබේ. ඒ සඳහා වූ පළමු සංකේත ලාංඡනය ඉවත දැමුනේ එහි නිර්මාණ ශිල්පියා අනුන්ගේ නිර්මාණයක් කොපි කළ බවට චෝදනා ලැබීමෙන් පසුවයි.

එසේම 2020 ඔලිම්පික් ක්‍රීඩාංගනය සඳහා වූ පළමු සැලසුම ද ඉවත දැමුනේ යෝජිත අධික වියදම පිලිබඳ චෝදනා එල්ල වීමෙන් පසුවයි.