‘හිමාල ව්‍යාඝ්‍රා’සොයා ගිය ගමනක ඛේදවාචකයක්

වාජීකරණ ඔසුවක් ලෙස පිළිගැනීමක් පවතින දුර්ලභ දිලීර වර්ගයක් එකතු කරමින් සිටි නේපාල ජාතික ගම්වාසියකුට සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබනු ලැබීමෙන් ඔහු මරණයට පත් විය.

'හිමාල ව්‍යාඝ්‍රා' යනුවෙන් හැඳින්වෙන එම දිලීරය දළඹුවන්ගේ සිරුරෙහි වැඩෙන ඉතා දුර්ලභ පුස් වර්ගයක් වන අතර දහස් ගණන් නේපාල ජාතිකයෝ අවුරුදු පතා එම දිලීරය සොයා කඳුකරය නගිති.

නේපාලයේ එම දිලීරය නම් කරනු ලැබ තිබෙන්නේ 'යාර්සගුම්බා' (yarsagumba) යනුවෙනි.

මරා දැමුණ පුද්ගලයා සමඟ සිටි කණ්ඩායමේ තවත් තුන් දෙනෙක් බදාදා රාත්‍රියේ එල්ල කොට ඇති වෙඩි ප්‍රහාරයට ගොදුරුව තුවාල ලබා ඇති බවත් නේපාල පොලිසිය පවසයි.

මුගු (Mugu) දිස්ත්‍රික්කයේ ප්‍රත්‍යන්ත ඈත කලාපයකදීයි ඉවක් බවක් නොමැති වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ.

'යාර්සගුම්බා' දුර්ලභ දිලීර කිලෝවක් චීනයේ ඩොලර් දස දහස් ගණනකට අලෙවි කෙරෙයි.

චීන ජාතිකයෝ එය ඖෂධයක් හැටියට පාවිච්චි කරති.