ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ නියඟයෙන් මිලියන 330 ක් ජනතාව පීඩාවට පත්වෙයි
දිස්ත්‍රික්ක 256 ජීවත් වන මිලියන 330 ක ජනතාව නියඟයෙන් පීඩා විඳින බව ඉන්දීය රජය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා තිබේ.
ඒ අනුව ඉන්දියා වේ සමස්ථ ජනගහනයෙන් හතරෙන් එක් පංගුවක ජන සංඛ්‍යාවක් මෙලෙස දැඩි නියඟය හේතුවෙන් පීඩාවට පත් වී සිටින බවයි වාර්තා වන්නේ.
එහෙත් ඇතැම් ප්‍රාන්ත වල පවතින ජල හිඟය මෙතෙක් ගණනය කළ වාර්තාවන්ට ඇතුළත් වී නැති බැවින් පීඩාවට පත් ජනතාව ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි බලධාරීන් පවසන්නේ.
ඉන්දියාව බොහෝ දුරට මෝසම් වැසි මගින් යැපෙන රටක් වුවද පසුගිය වසර දෙකක කාලය තුළ මෝසම් වැසි ලැබී ඇත්තේ ඉතා සුළු වශයෙනි.
දින කිහිපයක සිට පවතින අධික තාපය සෙන්ටිග්‍රේඩ් අංශක 40 කට වැඩි වී ඇති හෙයින් නියඟය තව දුරටත් ඉන්දියාව පුරා පැතිර යමින් පවතී.
ඔරිස්සා ප්‍රාන්තයේ පාසැල් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය ග්‍රීෂ්ම ඍතුවේ දෙදහසකට වැඩි පිරිසක් අධික උෂ්ණය හේතුවෙන් මියගිය දකුණු ඉන්දියාවේ තෙළඟනා සහ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත ද ඇතුළුව ඉන්දියාව පුරා සියයකට වැඩි පිරිසක් අධික උෂ්ණත්වය හේතුවෙන් මරණයට පත් වී ඇත.
ලබන මාසයේ නියඟය වඩාත්ම තදින් බලපා ඇති මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ 'ඉන්දීය ප්‍රිමියර් ලීග්' ක්‍රිකට් තරඟාවලියේ තරග 13 ක් වෙනත් ස්ථාන වල දී පැවැත්වීමට තීරණය කර ඇත්තේ තණතිල්ල සැකසීම සඳහා අවශ්‍ය තරම් ජලය සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.
ඉන්දියාවේ බොහෝ පළාත්වල ජල හිඟය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත්තේ නියඟය හේතුවෙන් වසර දෙකක් නොකඩවා වගා හානි සිදුවූ හේතුවෙනි.
පිහිනුම් තටාක වැනි අත්‍යවශ්‍ය නොවන ජල භාව්තාවන් සඳහා අවසර නොදෙන ලෙස රජය මගින් නගර සභා වෙත දැනුම් දී ඇති අතර වතුර ලීටර මිලියන 2.5 ක රැගත් තවත් බවුසර සහිත දුම්රියක් බදාදා මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ ලතුර් වෙත ලඟා වීමට නියමිතව තිබේ.
මේ අතර පන්ජාබ් සහ හර්යානා යන උතුරු ඉන්දියානු ප්‍රාන්ත වල ගංගා ජලය මුල්කොටගෙන ආරවුල් ඇති වී තිබේ.
දැඩි ජල හිඟයක් පැවතුන ද තම වගාවන් ආරකෂා කර ගැනීම පිණිස ගොවීන් විසින් රජය පනවා ඇති ජල පාලන නීති කඩා දමන බවද වාර්තා වේ.