HIV භීතිය: ආසාදිතයන්ගේ 'අයිතීන් සුරකින්න'

එච්අයිවී ආසාදිතයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පියවර ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේය.
එච්අයිවී ආසාදිතයකු බවට පැතිර ගිය අනියත බියක් හේතුවෙන් තම දරුවාට පාසලක් ලබා දීම ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කරමින් කුලියාපිටිය ප්‍රදේශයේ මවක් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි, අධිකරණය එම නියෝගය නිකුත් කළේ.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ රජයේ නීතිවේදියා, එම දරුවාගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට රජය පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළේය.
අදාළ දරුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට පියවර ගෙන ඇති බව කී රජයේ නීතිවේදියා එබැවින් පෙත්සම විභාග කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව පැවසීය.

සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සහතික කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජය බැඳී සිටින බවයි, එහිදී අදහස් දක්වමින් අගවිනිසුරුවරයා කියා සිටියේ.
මේ හේතුවෙන් එච්අයිවී ආසාදිතයන්ට අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජය පියවර ගත යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට අවධාරණය කළේය.
අධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් තමා සතුටු වන බව සිය දරුවා වෙනුවෙන් පෙත්සම ගොනු කළ මව ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත් පෙත්සමෙන් ඉල්ලා ඇති සහනය දැනටමත් අදාළ දරුවාට ලැබී ඇති නිසා එය තවදුරටත් විභාග කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව කියා සිටි අධිකරණය ඒ අනුව පෙත්සම් විභාගය අත්හිටුවන බව නිවේදනය කළේය.








