මත්තල ගුවන් තොටින් වී ඉවත් කෙරෙයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
හම්බන්තොට
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගබඩා කර තිබු වී තොග එහි ගබඩා වලින් ඉවත් කර ගනු ලැබීම අද (14) ආරම්භ විය.
වී අලෙවි මණ්ඩලය මගින් වී මෙට්‍රික් ටොන් හාරදහසක් පමණ මත්තල ගුවන් තොටුපොළ ගොඩනැගිලි තුළ ගබඩා කර තිබූ අතර මෙය මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් බවට පත්වයි තිබුණේ.
පශු සමපත් හා ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් ඇතුළු නිලධාරීන් වී තොග ඉවත් කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වූ අතර ඉදිරි දිනවල සියළු වී තොග ඉවත් කරන බවයි ඇමැතිවරයා පවසන්නේ.

වී අලෙවි මන්ඩලය කිලෝවක් රුපියල් 45 බැගින් එම වී මිළ දී ගෙන තිබුණ අතර දැන් ඒවා කිලෝවක් රුපියල් හතළිස් දෙකකට අලෙවි කිරීමට සිදු වීමෙන් රජයට විශාල පාඩුවක් සිදුවෙන බවත් වාර්තා වෙයි.
පසුගිය කන්නයේ දකුණු පළාතේ විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී තොග රැස් කර තැබීමට අවශ්‍ය ප්‍රමාණවත් ගබඩා නොතිබුණ බව සඳහන් කළ ඇමතිවරයා මාස හතරක කාලයක් සඳහා ගුවන් තොටුපොල ගොඩනැගිලි කුලී පදනමක් මත ලබා ගත් බවයි කියා සිටියේ.

එය දේශපාලන අරමුණු අනුව ගන්නා ලද ක්‍රියා මාර්ගයක් නොවූ අතර ආදායම් නොලබන මත්තල ගුවන් තොටුපොළට වී අලෙවි මණ්ඩලය මගින් අමතර ආදායමක් ලැබුණ බවයි පී. හැරිසන් ඇමතිවරයා පවසන්නේ.








