වසීම් තාජුදීන් ගේ මරණය 'මිනීමැරුමක්'

රග්බි ක්‍රීඩක මොහමඩ් වසීම් තාජුදීන්ගේ මරණය මිනීමැරුමක් බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.
වසීම් තාජුදීන් ගේ පිලිස්සී මිය මළසිරුර 2012 මැයි මස 17 වැනි දින නාරාහේන්පිට පාක් වීදියේ මෝටර් රථයක් තුල තිබී හමුවිය.
හදිසි අනතුරකින් ඔහු මියගොස් ඇති බවයි ඒ අවස්ථාවේ පොලිසිය ඇතුළු බලධාරීන් ප්‍රකාශ කළේ.
එහෙත් එය හදිසි අනතුරක් නොවන බව පවසමින් තාජුදීන්ගේ ඥාතීන් පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර ගොඩගෙන නැවත පරීක්ෂණ පවත්වන මෙන් අධිකරණය නියෝග කළේය.

දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් විසින් බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ඔහු ඝාතනය කර ඇති බවයි.
අනතුර සිදු වූ අවස්ථාවේ වසීම් තාජුදීන් ගිනිගෙන තිබූ රථය පදවා නැති බව පවසන වෛද්‍ය වාර්තාව, ඔහුට පහරදී දුර්වල වූ පසුව ඔහු වාහනයේ වාඩි කරවා ඇති බව සඳහන් කරයි.
ඔහුගේ දෙපාවලට, බෙල්ලට සහ පපුවට කරන ලද පහරදීම්වලින් හටගත් තුවාල හේතුවෙන් තාජුදීන් මියගොස් ඇති බවයි විශේෂඥ මණ්ඩලයේ නිගමනය වී තිබෙන්නේ.
"මෙම ආකාරයෙන් තිරස්ව හා කලවා අස්ථි දෙකේම එකම මට්ටමේ දෙතැනක පිහිටි භග්නයන් අපගේ මතය අනුව, සිදුවූවායයි කියන මෝටර් රථ අනතුරේදී සිදුවීමට හැකියාවක් නැත. මෙවැනි භග්නයන් සිදුවිය හැක්කේ කලවයන්ට කිහිප සැරයක් බර මොට ආයුදයකින් පහරදීමෙන් පමණක් බව අපගේ මතයයි," යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

පසුගියදා ගොඩගන්නා ලද මළ සිරුරු කොටස් තාජුදීන්ගේ බව DNA පරීක්ෂණයෙන් හඳුනාගන්නා ලද බවත් විශේෂඥ වාර්තාවේ සඳහන්.
පපුවේ සහ බෙල්ලේ ඇතිවූ තුවාලද රිය අනතුරක් නිසා සිදුවූවක් නොවන බව පවසන අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලය, රිය අනතුරක් හේතුවෙන් වාහනයේ සුක්කානම සවිවන කොටස් සහ ලීවරය ඇතුලට නෙරා ඒමෙන් මෙවැනි තුවාල සිදුවිය නොහැකි බවත් සඳහන් කරයි.
"අනතුර සිදුවන අවස්ථාවේදී මෙම පොල්ලට සුක්කානමේ රවුම සම්බන්ධ වී ඇති නිසාත් එම රවුම විනාශ වී ඇත්තේ පසුව ගිනිගැනීම නිසාත් මෙම තුවාල සුක්කානමේ පොල්ලෙන් සිදුවිය නොහැකි බව තවදුරටත් තහවුරු වේ. එය එම ප්‍රමාණය තරම් වූ මොට ආයුධයක් පසාරු වීම නිසා සිදුවිය හැක."
වසීම් තාජුදීන් ගේ සිරුර ගිනිගැනීම මරණය සිදුවීමට පෙර හෝ මරණය සිදුවෙමින් පැවති අවස්ථාවේ සිදුවන්නට ඇතැයිද අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්.
මුල් මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණය කරනු ලැබූ කලවා අස්ථි දෙකද, පපු අස්ථියද නැවත ගොඩගන්නා ලද සිරුරු කොටස් සමඟ නොතිබුණ බව පවසන අධිකරණ වෛද්‍යවරු, ආයතනයේ තිබෙන සියළු අධිශීතකරණ සහ මෘත ශරීර බහාලන ශීතකරණ පරීක්ෂා කළත් එම සිරුරු කොටස් සොයාගත නොහැකි වූ බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.








