චිත්‍රාංගනී සැමියාගේ පොත්වල අයිතිය ඉල්ලයි

විජේවීර පවුලේ ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, SriLankaGuardian.org

ඡායාරූප ශීර්ෂ වැකිය, විජේවීර පවුලේ ඡායාරූපයක්

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර විසින් රචිත පොත් හතක් නැවත මුද්‍රණය කිරීම විකිණීම සහ බෙදා හැරීම තහනම් කිරීමේ නියෝගයක් ජනතා විමුක්ති පෙරමුණ වෙත නිකුත් කරන මෙන් ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර ඇත.

එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබුණේ රෝහණ විජේවීරගේ බිරිඳ වන ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු විසිනි.

පෙත්සම්කාරිය කියා සිටින්නේ රෝහණ විජේවීර රචිත දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක් ද? ඇතුළු ග්‍රන්ථ හතක් ඇයගේ අවසරයකින් තොරව ජනතා විමුක්ති පෙරමුණ විසින් නැවත මුද්‍රණය කරමින් විකිණීම සහ බෙදා හැරීම සිදු කරන බවයි.

ජවිපෙ මහජන රැළියක්

ඡායාරූප මූලාශ්‍රය, dinamina.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, ජවිපෙ මහජන රැළියක්

රෝහණ විජේවීර විසින් රචිත පොත්වල බුද්ධිමය දේපළ අයිතිය තමන් සතු බව පවසන පෙත්සම්කාරිය ජනතා විමුක්ති පෙරමුණට ඒවායේ හිමිකමක් නොමැති බවයි කියා සිටින්නේ.

පෙත්සම්කාරිය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු සැලකිල්ලට ගත් කොළඹ වාණිජ අධිකරණය එම කරුණ සම්බන්ධයෙන් නොවැම්බර් 27 වෙනි දින අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දක්වන මෙන් වගඋත්තරකාර ජනතා විමුක්ති පෙරමුණට නියම කළේය.