'ඩිෆෙන්ඩරය ගැන රහස් පොලිසිය ප්‍රශ්න කළා'

ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුනි මස 30 වැනිදා තම ආයතනයේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළ බව ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
(WP) KA-0642 අංක දරන ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වැනිදා දක්වා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය සංවිධානය සඳහා ලබා දී තිබුණු බවයි රතු කුරුස ආයතනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ.
රාවය පුවත්පත

ඡායාරූප මූලාශ්‍රය, Getty
පසුගිය සිකුරාදා හෙළිදරව්වක් කරමින් රාවය පුවත්පත පැවසුවේ රගර් ක්‍රීඩක තාජුදින් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන තෙක් කර ඇති විමර්ශනවලින් හෙළි වී ඇත්තේ ඩිෆෙන්ඩර් රථයකින් ඔහු පැහැර ගෙන ගොස් ඝාතනය කර ඇති බවය.
එම ඩිෆෙන්ඩර් රථය සිරිලිය සවිය සංවිධානයට රතුකුරුස සංවිධානය විසින් ලබා දුන් එකක් බවද විමර්ශනවලදී හෙළිවී තිබෙන බවයි රාවය පුවත්පත සඳහන් කළේ.
මෙම රථය සිරිලිය සවිය සංවිධානය භාරයේ තිබෙන අවස්ථාවේදී ඔවුන් එය කුමන කාර්යයක් සඳහා භාවිත කළේ ද යන්න තමන් නොදන්නා බවද රතුකුරුස සංවිධානය සඳහන් කර තිබේ.
පාට වෙනස් කිරීම

එම ඩිෆෙන්ඩර් රථයේ පාට වෙනස් කිරීම ගැනද තමන් දන්නා සියලුම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැවසූ බවයි ඔවුන් පවසන්නේ.
අදාළ ඩිෆෙන්ඩර් රථය මේ වන විට පවතින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේයි.
මෙම මරණයට ජනාධිපති ආරක්ෂක අංශයේ තිදෙනකු සම්බන්ධ බව රජයේ ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
මේ සම්බන්ධයෙන් තම පවුලට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා බිබිසියට කියා සිටියේ.








