උතුරේ වෛද්‍යවරුන් සහ සෙසු නිලධාරීන්ගේ දැඩි හිඟයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty
වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සෙසු නිලධාරීන්ගේ දැඩි හිඟයක් නිසා උතුරු පළාතේ රෝහල් පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය පී.සත්‍යලිංගම් පවසයි.
මෙම හිඟය කොතෙක්දැයි කිවහොත් උතුරු පළාතේ පිහිටා තිබෙන රජයේ රෝහල් 101 අතර එකම වෛද්‍යවරයකු හෝ නොමැති රෝහල් 31 ක් ඇතැයිද ඔහු කියා සිටියේය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය සලකා බලන විට උතුරු පලාතට විශේෂඥ වෛද්‍යවරුන් 119 ක් අවශ්‍ය නමුත් දැනට සිටින්නේ 55 දෙනෙකු පමණක් බවද උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අක්ෂි වෛද්‍ය විශේෂඥයන් මුලු උතුරු පළාතටම සිටින්නේ දෙදෙනෙකු පමණක් යැයි කී අමාත්‍යවරයා ඔවුන් දෙදෙනාම සිටින්නේ මධ්‍යම රජය මගින් පාලනය වන යාපනය ශික්ෂණ රෝහලේ යැයිද පෙන්වා දුන්නේය.
විශේෂඥ වෛද්‍යවරු
වවුනියාව, කිළිනොච්චිය, මන්නාරම යන රෝහල් වලටද විශේෂඥ වෛද්‍යවරුන් අවශ්‍ය නමුත් ඔවුන් ලබා දීමටද මෙතෙක් මධ්‍යම රජය පියවර ගෙන නොමැති අතර හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් ඇතැයිද ඔහු සඳහන් කළේය.
වෛද්‍යවරන්ට අමතරව සෞඛ්‍ය සේවයේ සෙසු නිලධාරීන්ගේ හිඟය ගැන සලකා බලන විට උතුරු පළාතේ රජයේ රෝහල් වල හෙදියන් 300 ක හිඟයක් ඇතැයි පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
හෙදියන් 180 ක් ලබා දෙන බවට මුලින් පොරොන්දු වුවත් එම සංඛ්‍යාව දැන් 80 ක් දක්වා පහත හෙලීමට මධ්‍යම රජය කටයුතු කොට ඇති බව කී සත්‍යලිංගම් වෛද්‍යවරයා ලැබෙන හෙදියන් 80 පළාතේ රෝහල් වලට බෙදන අන්දමද ගැටලු සහගත බව පැවසුවේය.
අසීරුතාව
යුද සමයේදී මෙම පළාත්වල සෞඛ්‍ය සේවකයන් සිය රාජකාරී කාලයම ගැන පමණක් සලකා කටයුතු නොකොට රෝගීන්ගේ තත්ත්වය ගැන නිරන්තර අවධානය යොමු කිරීමේ පුරුද්ද තවමත් අතහැර නොමැති බැවින් උතුරේ රෝහල් සේවා කටයුතු පවත්වාගෙන යාමට හැකි වී ඇතැයිද කියා සිටියේය.
වෛද්‍යවරුන් එක් අයෙකු හෝ නොමැති රෝහල් පවත්වාගෙන යන්නේද එම පුරුද්ද මත වුවත් දිගටම එය කරගෙන යා නොහැකි බව පැවසූ උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා, මධ්‍යම රජයට මෙම අසීරුතාව ගැන කරුණු ඉදිරිපත් කොට ඇතත් වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවකයන් ලබා දීමට මෙතෙක් පියවර ගෙන නැතැයිද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.








